My Blog List

Sunday, 22 February 2026

සන්නිවේදන ක්‍රියාවලියේ මූලිකාංග


සන්නිවේදනය යනු අදහස්, තොරතුරු හෝ හැඟීම් හුවමාරු කර ගැනීමේ ක්‍රියාවලියකි.මූලික අංග යනු සන්නිවේදන ක්‍රියාවලියක් සාර්ථක කර ගැනීම සදහා අවශ්‍ය වන අංගයි.ඒ අනුව සන්නිවේදන ක්‍රියාවලිය සාර්ථක කර ගැනීම සදහා අවශ්‍ය කරන අංග පහතින් දැක්වේ.

සන්නිවේදකයා  

සන්නිවේදන ක්‍රියාවලියේ දී සන්නිවේදකයා ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කරනු ඇත. සන්නිවේදන ක්‍රියාවලය ආරම්භ වන්නේ සන්නිවේදකයාගෙනි. ඒ අනුව මොනයම් පුද්ගලයෙකුට හෝ පිරිසකට සම්ප්‍රේෂණය කළ යුතු අදහසක් හෝ සිතුවිල්ලක් සන්නිවේදකයා මගින් ඇරඹෙනු ඇත. මෙය තනි පුද්ගලයෙක්, සමූහයක්, ආයතනයක් හෝ සංවිධානයක් විය හැකි ය. 

ආකේතකරණය 

ආකේතකරණය යනු සන්නිවේදනය කිරීමට යම් සිතුවිල්ලක් පහළ වූ පසු එය සංඥා හෝ සංකේත බවට පත් කිරීමයි. ඒ අනුව පංචේන්ද්‍රියට ගෝචර වන ආකාරයට ඇතුලත් කිරීම ආකේතකරණයයි. මෙම ක්‍රියාවලිය සන්නිවේදකයා හා බැඳී ඇති ක්‍රියාවලියකි. (ආකේතකරණය යනු සන්නිවේදකයාගේ ක්‍රියාවයි)

පණිවිඩය/සංදේශය 

යම් කිසි සන්දේශ මූලයක් විසින් සිදු කරනු ලබන, සංදේශනය කරනු ලබන භෞතික මූලය පණිවිඩයයි. ඒ අනුව සන්නිවේදකයා හා ග්‍රාහකයා අතර හුවමාරු වන තොරතුර ලෙසද හැදින්විය හැක. මෙම ක්‍රියාව තව දුරටත් පැහැදිළි කරනු ලබන්නේ නම් “වාචික හෝ අවාචිකව මාධ්‍යයක් ඔස්සේ ඉදිරිපත් කරනු ලබන ප්‍රකාශයේ ‘අන්තර්ගත විෂය’ සංදේශය ලෙසට හැදින්විය හැකිය. මේ ආකාරයට දුරකතන ඇමතුමේ අන්තර්ගතය සංදේශයයි. රූපවාහිනියේ විකාශය වන අන්තර්ගතය සංදේශයයි. 

නාලිකාව 

සංදේශය ග්‍රාහකයා වෙතට ගෙනයනු ලබන මාධ්‍යය නාලිකාව ලෙසට හැදින්වේ. මෙය වෙනත් අරුතකින් හැදින්වුව හොත් වාහකය, මාධ්‍යය, නාලිය හෙවත් චැනලයයි. ප්‍රධාන වශයෙන් මෙම නාලිකාවක කාර්යයභාරය නම් සංදේශයක් එක් ස්ථානයක සිට තවත් ස්ථානයකට ගෙන යාමයි. 

ග්‍රාහකයා 

ග්‍රාහකයා යනු අප ඉදිරිපත් කරන සංදේශයේ අවසාන ඉලක්කයයි. ඒ අනුව ඉදිරිපත් කරනු ලබන සංදේශයක් අවසාන වශයෙන් ලබාගන්නේ ග්‍රාහකයායි. බොහෝ විට ග්‍රාහකයා තනි පුද්ගලයෙක් හෝ කණ්ඩායමක් විය හැක. 

විකේතකරණය 

විකේතකරණය යනු සන්නිවේදකයා විසින් අන්තර්ගත කරන ලද තොරතුරක් එයින් මුදවා ගැනීමයි. නැත්නම් තේරුම් ගැනීමයි. එම ක්‍රියාවලිය අයත් වන්නේ ග්‍රාහකයාට යි. (විකේතකරණය යනු ග්‍රාහකයාගේ ක්‍රියාවයි)

ප්‍රතිපෝෂණය

ග්‍රාහක ක්‍ෂේත්‍රය විසින් පෙරලා පණිවිඩය නිකුත් කරන ලද මූලාශ්‍රය වෙත දක්වනු ලබන ප්‍රතිචාරය මෙනමින් හැදින්වේ. එය ඇසිය හැකි දැකිය හැකි ආකාරයේ ප්‍රතිචාරයක්. එම ප්‍රතිපෝෂණය එක් අන්තයකින් අවසන් වන්නේ නැත. ප්‍රතිපෝෂණ ක්‍රියාවලිය සාර්ථක සන්නිවේදයක් සඳහා අවශ්‍ය වෙයි. මෙම ප්‍රතිපෝෂණයේ ස්වභාවය අනුව ධනාත්මක ප්‍රතිපෝෂණය, නිෂේධනාත්මක ප්‍රතිපෝෂණය වශයෙන් බෙදිය හැකිය.

ඝෝෂාව 

මෙය සන්නිවේදන මූලිකාංග වල එන තවත් එක් ක්‍රියාවලියකි. සන්නිවේදන බාධා වශයෙන් ද මෙය හැදින්වේ. සන්නිවේදනයේදී සංදේශයක් නියමාකාරයෙන් සම්ප්‍රේෂණය සිදු නොවීමේ ක්‍රියාවලිය ඝෝෂණය වශයෙන් හැදින්fවි. යම් කිසි සංදේශයක විශ්වාසවන්ත භාවය නියමාකාරයෙන් රැකෙන්නේ මෙම ඝෝෂණය අවම වූ විට පමණි. මෙම ඝෝෂණය හෙවත් බාධා කිහිප ආකාරයකට බෙදෙයි.

අර්ථ බාධා

මාධ්‍යය (නාලිකා) බාධා

අත්දැකීම් පසුතලය

එක් එක් පුද්ගලයා සතුවන්නා වූ අත්දැකීම් එකිනෙකට වෙනස් ය. එය සන්නිවේදන මූලය නිකුත් කරනු ලබන සංදේශය වටහා ගැනීමට උපකාරී වේ. අත්දැකීම් පසුතල දෙකක් වූ කල්හී සංදේශය වටහා ගැනීම පහසු නොවේ. පරිසරයන් දෙකක සිටින පුද්ගලයන් දෙදෙනෙකුගේ අත්දැකීම් වෙනස් ය. එම නිසා ඔවුනොවුන්ට සන්නිවේදනය සඳහා බාධා සිදුවිය හැකිය.

සන්දර්භය

සංදේශන ක්‍රියාවලිය සදහා සන්දර්භය ඉවහල් වෙයි. සන්නිවේදන ක්‍රියාවක් සඳහා පරිසරයෙන් සිදුවන දායකත්වය මෙයට නිදසුන් ය. ඇඳුම, භාවිත කරන උපකරණ, පැළඳුම් හා වර්ණ නිල ලාංඡන ආදිය මගින් සන්ධර්භය විදහා දැක්වෙයි. රෝහලක සේවය කරන පුද්ගලයන් අපට වෙන වෙනම හදුනාගත හැක්කේ මෙම සන්ධර්භය නිසාය. සන්ධර්භය ඍජුව ම සන්නිවේදන ක්‍රියාවලියට සම්බන්ධ වෙයි. 

බලපෑම 

සන්නිවේදන මූලිකාංගවල බලපෑම වශයෙන් හැදින්වෙන්නේ සන්නිවේදන ක්‍රියාවලියක පණිවිඩය ග්‍රාහකයා වෙත ලැබීමෙන් පසුව ඇතිකරනු ලබන ප්‍රතිඵලයයි. මෙය සන්නිවේදන ක්‍රියාවලියක අවසන් ප්‍රතිඵලයයි. ඒ අනුව සංදේශ මූලයෙන් ආරම්භ වන සංදේශයක අවසාන ඉලක්කය වන්නේද ග්‍රාහකයා වෙත කරනු ලබන මෙම බලපෑමයි. එය මූල්‍යම, ආකල්පමය, භාවමය, චර්යාමය ආදී වශයෙන් විය හැකිය. නිදසුනක් ලෙස රූපවාහිනී මාධ්‍යයෙන් විකාශය වන දැන්වීමක බලපෑම ග්‍රාහක චර්යාව වෙනස් කිරීම ය. එය සිදු වීම හෝ නොවීම විය හැකිය. කිසියම් බලපෑමක් සන්නිවේදන ක්‍රියාවලියක් හරහා අපේක්‍ෂා කරයි.

Sunday, 15 February 2026

 මාධ්‍ය ආචාරධර්ම 


සමාජයේ ගැටුම් ඇති කිරීම සහ ගැටුම් නිවාරණය සඳහා ද ජනමාධ්‍ය හේතු වේ. වෘත්තීය භාවයකින් තොරව සිදු වන මාධ්‍ය නිෂ්පාදන පුද්ගලයාට, සමාජ සංවිධාන වලට සහ සමස්ත සමාජයට ප්‍රබල ගැටලූ නිර්මාණය කරයි. ඒ තුළින් සමාජ සංහිඳියාව වෙනුවට සමාජ වෛරය, පුද්ගල සහ සමාජ සංවිධානයන්හි ගරුත්වය සමාජ ආර්ථික බිඳ දැමීම් ද සිදු කරයි. යම් රටක හෝ සමාජයක සමාජ වගකීම් රහිත මාධ්‍ය පවතින විට ජනතාව රැක ගැනීමේ අරමුණින් රාජ්‍ය වගකීම් ද ඉදිරියට පැමිණෙන බැව් පෙනේ. ආචාර ධර්ම සහ නීතිය යනු ප්‍රධාන සමාජ සංකල්ප දෙකක් වුව ද, ඒ දෙක අතර ප්‍රබල වෙනසක් ද දක්නට ලැබේ. නෛතික තත්ත්වයන් බිඳ දැමීමට ජනමාධ්‍යට හැකියාවක් නොමැත.

ලොව සෑම රටකටම මාධ්‍යයන්ට විශේෂිතව පොදුවේ පිළිගත් ආචාරධර්ම මාලාවක් පවතී. විශේෂයෙන් ලොව ජනමාධ්‍යවේදය, පුවත් වාර්තාකරණය යන අංශයන් තුළ සුවිශේෂී තේමාවන්ට විශේෂිතව ආචාරධර්ම මාලාවන්, ප‍්‍රඥප්තින් සකස්කරගෙන තිබේ. උදාහරණ වශයෙන් සියදවි නසාගැනීම වාර්තාකරණය සම්බන්ධ ආචාරධර්ම මාලාවන් පවතී. යුධ පුවත් වාර්ථාකරණය සම්බන්ධ ආචාරධර්ම, දැන්වීම්කරණය පිළිබඳ ආචාරධර්ම, මහජන සම්බන්ධතා ආචාරධර්ම යනාදී වශයෙන් විශ්වීය ලෙස පිළිගත් වෘත්තීය ආචාරධර්ම මාලාවන් ක‍්‍රියාත්මක වන්නේ මාධ්‍යයේ වෘත්තීමය අගය ආරක්ෂා කිරීමත් විශේෂයෙන්ම මාධ්‍යයෙන් සාමාන්‍ය ජනතාවට කෙරෙන බලපෑම විෂයෙහි වඩාත් හිතකර යහපත් පැවැත්මක් ඇතිකර ගැනීම අරඹයා ය.

මෙයට අමතරව ඒ ඒ රටවල එක් එක් ජනමාධ්‍ය ආයතනයන් විසින් සිය පෞද්ගලික වෘත්තිමය ගරුත්වය සහ ග‍්‍රාහක ක්ෂේත‍්‍රයට බලපාන පරිදි ආචාරධර්ම මාලාවක් පවත්වාගෙන යනු ලැබේ. උදාහරණ වශයෙන් ලාංකීය ගුවන්විදුලි සංස්ථාව ආරම්භයේදීම නිවේදනය කෙරෙහි බලපවත්වන පරිදි ආචාරධර්ම මාලාවක් සකස් කර තිබේ. එමෙන්ම මේ වන විට රටේ පවතින එක් එක් මාධ්‍ය ආයතන තුළ සිය වෘත්තීමය පැවැත්ම හා ග‍්‍රාහක ක්ෂේත‍්‍රය කෙරෙහි බලපාන පරිදි ආචාරධර්ම මාලාවක් පවත්වාගෙන යනු ලැබේ. 

මාධ්‍ය ආචාර ධර්ම පිළිබඳ අවධානය යොමු කිරීමේ දී එය හැදෑරීමට අවශ්‍ය මූලධර්ම හතරක් පිළිබඳව සාකච්ඡුාවට භාජනය කළ හැකි ය.

x සත්‍යවාදී බව

x නිදහස

x හානිය අවම කිරීම

x වගකිව යුතු බව

යනා දී වශයෙනි. මාධ්‍ය යනු ජනතාව වෙත තොරතුරු, අදහස් හා දැනුම සම්පේ‍්‍රෂණය හෙවත් සන්නිවේදනය කරන මාර්ගය යි.අතීතයේ සිට වර්තමානය දෙස බලන කල විවිධ මාධ්‍ය දැකගත හැකි ය. එවැනි මාධ්‍ය ලෙස.

x මුද්‍රිත මාධ්‍ය

x විද්‍යුත් මාධ්‍ය

x ශ‍්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍ය

x නව මාධ්‍ය

යන් පෙන්වා දිය හැකි ය. ඉහත සඳහන් වන සියලූ ම මාධ්‍ය මගින් ග‍්‍රහකස්ථානය කරා විවිධ අයුරින් තොරතුරු සම්පේ‍්‍රෂණය කරන ආකාරයක් දැකගත හැකි ය. ඒ අනුව ජනමාධ්‍ය ආයතන මගින් නිෂ්පාදනය කරනු ලබන නොයෙකුත් සංදේශයන් නොයකුත් රුචි අරුචිකම් සහිත ග‍්‍රාහක පිරිසක් තම අවශ්‍යතා සපුරා ගනු වස් පරිහරණය කරන බැවින් මාධ්‍යයන්ගේ අරමුණ ද විවිධාකාර වේ. එම නිසා ජනමාධ්‍යවේදීන් ජනතාව වෙත ගෙන යන ප‍්‍රවෘත්ති වාර්තා හා විශේෂාංග වල අංක භාවය හා සත්‍යවාදී භාවය ඉතා වැදගත් වේ. මේ නිසා වෘත්තීය ජනමධ්‍යකලවේදීන් ඉතාමත් වැදගත් සාධක දෙකක් ඔස්සේ තම කර්තව්‍යය සිදු කළ යුතු ය.

x පණිවුඩයේ විශ්වසනීයත්වය

x මුලශ‍්‍රයේ විශ්වසනීයත්වය

යන සාධක දෙක කෙරෙහි අවධානය යොමු කරමින් ය. තව ද ප‍්‍රවෘත්තියක, වර්තාවක හා විශේෂාංගයක විශ්වසනීයත්වය පාඨකයා තුළ ඇති කිරීමට නම් එය නිවැරදි සත්‍ය සිදුවීමක් විය යුතු ය. එ ලෙස ම එම නිර්මාණය හෝ ප‍්‍රවෘත්තිය හෝ වාර්තාව මෙන් ම විශේෂාංගය සමස්ත වශයෙන් සමබර හා පැහැදිලි බවකින් යුක්ත විය යුතු ය. එවිට විශ්වසනීය තොරතුරක්, දැනුමක්, අධ්‍යාපනයක් තමන්ට ලැබෙන්නේ යැයි ග‍්‍රාහකයට තෘප්තිමත් විය හැකි ය. එමෙන් ම මාධ්‍යවේදියා සෑම අවස්ථාවක දී ම සත්‍යය තොරතුරු කෙරෙහි සැලකිය යුතු ය. එ මෙන් ම ජනමාධ්‍යයන්ගෙන් ප‍්‍රතිලාභ ලබන්නන් වන ජනතාව වෙත තම යුතුකම හරි හැටි ඉටු කළ යුතු ය. ජාතික ආරක්ෂාව හෝ වෙනයම් නීතිමය තත්වයක් ආරක්ෂා කළ යුතු ය.තව ද ජනමාධ්‍ය විසින් සෑම විට ම.

x ආරක්ෂකයෙකු වශයෙන්

x මණ්ඩපයක් වශයෙන්

x ගුරුවරයෙකු වශයෙන්

සිටිමින් තමා සතු වගකීම ග‍්‍රාහකයා වෙනුවෙන් විධිමත් ආකාරයෙන් අදිරිපත් කළ යුතු ය.නමුත් නුතනය වනවිට ජනමාධ්‍ය ක‍්‍රියාකාරිත්වය දෙස බැලූ කල ඒ ඉටු වන්නා වූ සමාජ වගකීම් පිළිබඳ ව විවිධ වූ ගැටලූකාරී තත්වයන් මතු ව ඇති ආකාරයක් දැකිය හැකි ය. එවන් සමාජ වගකීම් විරහිත ගැටුම්කාරී තත්වයන් පිළිබඳ කතා කිරීමේ දී පෙනී යන්නේ මුල් අවධියේ දී මුර බල්ලන් ලෙස යා කළ මාධ්‍ය අද වන විට ඔඩොක්කු බල්ලන් ලෙස පහතට වැටි ඇති ආකාරය යි.

මුද්‍රිත මාධ්‍ය ශ‍්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍යයන් වගේ ම නව මාධ්‍යයන් යටතේ එන වෙබ් අඩවි වලටත් ආචාරධර්ම පද්ධතියක් තිබීම අත්‍යවශ්‍ය වේ. පුවත්පත්වලට ද ආචාරධර්ම පද්ධතියක් තිබෙන අතර 2008 වසරේ ජනමාධ්‍ය විද්‍යාලය හා පුවත්පත් පැමිණිලි කොමිසම එක් වී එම ආචාරධර්ම නැවත සකස් කොට වෙබ් අඩවි පිළිබඳව ද ආචාරධර්ම ඇතුලත් කර ඇත. වර්තමානයේ දී ඇතැම් බ්ලොග් අඩවි පවත්වාගෙන යන පිරිස් ද මාධ්‍යකරුවන් බවට පත් වී ඇත. ජනමාධ්‍යකරණයේ නියැලීම වෘත්තීය මාධ්‍යකරුවන්ට සීමාවූවක් පමණක් නො ව එය   ඕනෑම පුරවැසියෙකුට දායක විය හැකි ක්‍‍්‍රමවේදයක් වී ඇත. එය හේතු කොට ගෙන වෘත්තීය මාධ්‍යවේදීන්ට පමණක් නො ව මාධ්‍ය ක්ෂේත‍්‍රයේ නියැලෙන   ඕනෑම පුරවැසියෙකුට ම මෙම ආචාරධර්ම සුරැුකීමේ වගකීමක් ඇති බව පෙන්වා දිය හැකි ය. තව ද 1994 පසු විද්‍යුත් මාධ්‍යකරණයේ පරිවර්තනය වෙනසක් දක්නට ලැබෙන අතර රාජ්‍ය ඒකාධිකාරී මාධ්‍ය භාවිතයට පෞද්ගලික නාලිකා පැමිණීමත් සමග තොරතුරු සන්නිවේදන ක්ෂේත‍්‍රය පුළුල් ස්වභාවයක් මෙන් ම සංකීර්ණ ස්වභාවයක් ද ගෙන ඇති බව දක්නට ලැබේ. අද වන විට විද්‍යුත් හා මුද්‍රිත සහ නව මාධ්‍ය භාවිතයට වඩා සමාජ මාධ්‍ය භාවිතය සංකීර්ණ වී තිබෙන අතර එය සමාජ ජිවිතයට පමණක් නො ව පුද්ගල ජිවිතයට ද බලපෑම් කරන මට්ටමකට පැතිර ගොස් ඇති ආකාරය ද දක්නට ලැබේ.

වර්තමානයේ දී වෙබ් අඩවි බ්ලොග් අඩවි හෙළිදරව් කරන ඇතැම් තොරතුරුවල නිවැරදි භාවය එහි කතෘත්වය පිළිබඳ අවිනිශ්චිතතාවයක් නිර්මාණය කර ඇත. ඇතැම් තොරතුරු, සිද්ධීන්ට අදාළ පුද්ගලයන් පමණක් නො ව ඔහුගේ හෝ අයගේ සමීපතමයන්ට ද බලපෑම් කරන මට්ටමකට පත් ව තිබේ. තව ද අද වන විට පවතින තාක්ෂණික දියුණුවත් සමඟ ජනමාධ්‍යවේදීන් තුළ ස්වයං නියාමනයක් ඇති කිරීමට නම් අනිවාර්යයෙන්ම ආචරධර්ම පද්ධතියක අවශ්‍යතාව පවතී. ජනමාධ්‍යවේදීන්ට ආචාරධර්මීය ගැටළු මතුවන අවස්ථා කිහිපයක් මෙසේ සඳහන් කල හැකිය.

x අන්‍යන්ගේ ලිපි තමන්ගේ ලිපි ලෙස පළ කිරීම.

x තම පෞද්ගලික හැඟීම් මුසු කිරීම.

x දැනගත යුතු තොරතුරු අත් හිටුවීම.

x තොරතුරු ප‍්‍රකෘති කිරීම.

x පෞද්ගලිකත්වය ආක්‍‍්‍රමණය කිරීම.

x පක්ෂග‍්‍රාහි වාර්තාකරණයේ යෙදීම.

මෙවැනි හේතු ආචාරධර්ම සංග‍්‍රහය ගොඩ නැඟීමට හේතු විය. තව ද මානව සාරධර්ම සුරකමින් මෙම කාර්යයෙහි නිරත වීමට විද්වතුන් විසින් ආචරධර්ම ප‍්‍රභේද තුනක් යටතේ දක්වයි.

x පරම ආචරධර්ම -  සමස්තව පිළිිගත් ආචාරධර්ම.

x නීති විරෝධි ආචරධර්ම -  නීතියට පටහැනි ආචාරධර්ම.

x අවස්ථානුකූල ආචරධර්ම -  අවස්ථාවට උචිත පරිදී වෙනස් කිරීම.

තව ද මෙම ජනමාධ්‍ය ආචාරධර්ම භාවිතා කරන පුද්ගලයන් අනුව ද වෙනස් වේ. ඒ අනුව මාධ්‍ය පාරිභෝගිකයා රැුුකීම අරමුණු කරගත් ආචාරධර්ම , මාධ්‍ය සේවකයින් අරමුණු කරගත් ආචාරධර්ම , අයිතිකරුවන් අරමුණු කරගත් ආචාරධර්ම , නීතිමය වගකීම අරමුණු කරගත් ආචාරධර්ම , වශයෙන් එය දැක්විය හැක. ලොව ප‍්‍රකට මාධ්‍ය ආයතන වලට ද ආචාරධර්ම පද්ධතියක් ඇත. 

නූතන මාධ්‍ය ක්ෂේත‍්‍රය දෙසට අවධානය යොමු කිරීමේදි මුලින් දක්වන ලද ආවාරධර්මීය ස්වභාවයන් කඩවන බවක් දක්නට ලැබේ.  එලෙස මෙම ජනමාධ්‍යය ආවාරධර්ම කඩවීම කෙරෙහි බලපානු ලබන හේතු සාධක ද ප‍්‍රබල වශයෙන් දක්නට ලැබේ. ඒවා ප‍්‍රධාන වශයෙන් කොටස් හතරක් ඔස්සේ  දැක්විය හැක.

x පක්ෂග‍්‍රාහි වාර්තාකරණය.

x පණිවුඩ හැසිරවීම හා සාවද්‍ය ලෙස ඉදිරිපත් කිරීම.

x තොරතුරු විකෘතිකරණය

x භාවාතිශය වීම.

මෙහිදී පක්ෂග‍්‍රාහි වාර්තාකරණය යනු වාර්තාකරන සිදුවීම අර්ධ වශයෙන් සත්‍යයක් වීම, මායවක් වීම, අඩමුසාවක් වීම හෝ  හිතාමතාම ගොතන ලද බොරුවක් වීම දැක්විය හැක.  මෙහිදී සාකච්ඡුාවට බදුන් වන්නේ ප‍්‍රස්තුත ප‍්‍රශ්නයේ එක් පැතිකඩක් පමණී. තව ද ජනමාධ්‍යය ආයතන බොහෝමයක් ස්වාධීන නොමැත. එය නිතර හිමිකරුගේ හෝ හිතවත්කම් දක්වන දේශපාලන පක්ෂ වල හෝ රජයේ රජයේ ඇඟිලි ගැසීම් වලට ලක් වේ.මේ හේතුවෙන් සමාජ, දේශපාලනික, ආර්ථිකමය ආදී වශයෙන් තමන්ට වාසිදායක වන අයුරින් හැසිරවීම හා සාවද්‍ය ලෙස ඉදිරිපත් කිරීම නිරතුරුව දක්නට ලැබේ. මෙය අහිතකර වේ. තොරතුරු විකෘතිකරණය ද මෙහිදි සිදුවන ප‍්‍රබල ගැටළුවකි. ජනමාධ්‍යය මඟින් විසුරුවා හරින තොරතුරු සමුදාය තුළට අසත්‍ය තොරතුරු ඇතුළත් කිරීමෙන් සිදු වේ. ජනතාව මෙම විකෘති තොරතුරු පිළිගෙන තම මතය ගොඩ නැඟීමට උත්සහ කරයි. මෙය අහිතකර තත්වයකි. ග‍්‍රාහකයින්ගේ කුතුහලය අවුස්සන හැඟීම්බර ප‍්‍රවෘත්ති ඉදිරිපත් කිරීම ද මෙය අහිතකර වේ. මේවා භාවාතිශය තොරතුරු වේ.මේ ආදි වු කරුණු හේතුවෙන් ජනමාධ්‍යය ආචාරධර්ම කඩවීම දක්නට ලැබේ. මේ හේතුවෙන් ජනමාධ්‍ය හා ප‍්‍රවෘත්ති අමාත්‍යාංශය මඟින් මෙම ආචාරධර්ම කඩවීම වැළැක්වීමට ජනමාධ්‍ය ආචාරධර්ම සංග‍්‍රහයක් ඉදිරිපත් කරන ලඳි

ජනමාධ්‍යවේදයෙහි උසස්ම ප‍්‍රමිති පවත්වාගන්නා අතරම ශී‍්‍ර ලංකාවේ විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය සහ වෙබ් අඩවිවල අන්තර්ගතය නිදහස්, වගකීම් සහගත හා පාඨක/පේ‍්‍රක්ෂක වුවමනා සහ අපේක්ෂාවන්ටසංවේදී බව සහතික කිරීම අරමුණු කරගත් මෙම ජනමාධ්‍ය ආචාරධර්ම සංග‍්‍රහය, වෙබ් අඩවි ඇතුළු සියලූම විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය ආයතන සහ මාධ්‍යවේදීන් විසින් පිළිපැදිය යුතුය.

මෙම ප‍්‍රමිතීන් මගින් විද්‍යුත්, මුද්‍රිත මාධ්‍ය සහ වෙබ් අඩවි විසින් මාධ්‍ය නිදහසේ මූලික නියමයන්ට එරෙහි විකෘති වාණිජත්වයෙන් හෝ අයුතු පීඩනයෙන් හෝ පටු අභිමතාර්ථයන්ගෙන් මිදුණු නිවැරදි බව හා සවෘත්තීය ඒකාබද්ධතාවය උදෙසා උත්සාහ දැරීමත්, මහජන සුභසිද්ධිය වෙනුවෙන් ගවේෂණාත්මක මාධ්‍යවේදයෙහි උසස් සම්ප‍්‍රදායන් පවත්වාගෙනයාමත් අපේක්ෂා කෙරේග විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය, වෙබ්  අඩවි ප‍්‍රකාශන මෙන්ම එහි මාධ්‍යවේදීන් හටද තමන්ගේම ප‍්‍රබල මත දැරීමට හා ප‍්‍රකාශ කිරීමට නිදහස ඇත. එසේම ඔවුන් අන් අයගේ අදහස්වලට නිසි අවධානය යොමු කිරීමේසමාජ වගකීම පිළිබිඹු කිරීමට ද වගබලා ගත යුතුය.

මෙම ආචාරධර්ම සංග‍්‍රහය පුද්ගලිකභාවයේ අයිතිය මෙන්ම තොරතුරු දැනගැනීම සඳහා මහ ජනතාව සතු අයිතිය සුරැුුකීමට ස්ථාපනය කරන ලද්දකි. මෙය අකුරටම පිළිපැදීම සහ එහි ජීව ගුණයට ගරු කිරීම කළයුතු අතර, පුද්ගලිකත්වයේ අයිතීන් හෑල්ලූවට ලක්වන ආකාරයේ පටු අර්ථකථනයන් දීමක් හෝ මහජන සුභසිද්ධිය සඳහා වන ප‍්‍රකාශන වැලැක්වීමේ පටු අර්ථකථනයන් දීමක් කිසිවිටෙකත් සිදු නොකළ යුතුය.

සන්නිවේදන අවශ්‍යතා සඳහා ජනමාධ්‍යය බිහිවීමෙන් පසු තොරතුරු මූලාශ‍්‍ර වල නිරවද්‍යභාවය හා ඉදිරිපත් කිරීමේ ක්‍‍්‍රම උපායන් භාවිතා කරමින් මාධ්‍ය ආචාරධර්ම බිහිවිය. සෑම වෘත්තියකටම ආචාරධර්ම පද්ධතියක් ඇත.එම වෘත්තිය රඳා පවතිනුයේ ආචාරධර්ම මත පදනම් වෙමිනි. ජනමාධ්‍යයේ බලපෑම ප‍්‍රමාණාත්මකව වැඩි නිසා මෙම ක්ෂේත‍්‍රයට අඳාලව ආචාරධර්ම අත්‍යවශ්‍ය වේ. එයට හේතුව   ඕනෑම පුද්ගලයෙකුට ජනමාධ්‍යවේදියෙකු විය හැකි නිසාවෙනි.

ජනමාධ්‍ය භාවිතාවන් සඳහා ආචාරධර්ම අවශ්‍ය වන්නේ ජනමාධ්‍යය සතු සමාජ වගකීම නිසි පරිදී ඉටුවනු සහතික කිරීම පිණිසය. ජනමාධ්‍යයේ සමාජ වගකීම ගොඩ නැගෙන්නේත් ජනමාධ්‍යවේදීන් ක්‍‍්‍රියාවට නංවනු ලබන්නේත් මහජනයා සතු ප‍්‍රකාශනයේ හා භාෂණයේ අයිතියයි. ප‍්‍රකාශනයේ හා භාෂණයේ අයිතිය මිනිසා මිනිසෙකු වීම නිසා නිසඟයෙන්ම හිමිවන මූලීක මානව හිමිකමකි. එමෙන්ම තොරතුරු දැනගැනීමේ අයිතිය ද මහජනයා සතු වේ. ඒ කෙරෙහි ජනමාධය්‍ය සුවිශේෂි මෙහෙවරක් ඉටු කරනු ලැබේ. ජනමාධය්‍යට මේ හේතුවෙන් ස්වකීය ප‍්‍රජාවට හා සමාජය කෙරෙහි වගකීමක බැඳී සිටී. එම වගකීම ඉටු කිරීම පිණිස මාධ්‍ය විසින්ම ඇති කර ගන්නා මඟ පෙන්වීම ජනමාධ්‍ය ආචාරධර්ම ලෙස හදුනා ගනිමු.

ආචාරධර්ම පද්ධතියක පැවතිය යුතු මූලික ම ගුණාංගය වන්නේ පුද්ගලික භාවයේ අයිතිය යි. එය උල්ලංඝනය කරමින් තොරතුරු දැනගැනීමේ අයිතිය තහවුරු කිරීමෙන් පලක් නැත. ආචාරධර්ම පිළිබඳ කතිකාව මෙ තරම් පුළුල් වීමට හේතුවක් වී ඇත්තේ පෞද්ගලික භාවහේ අයිතිය සහ තොරතුරු ප‍්‍රකාශ කිරීමේ අයිතිය හේතුවෙනි. විශේෂයෙන් ම අන්තර්ජාලය භාවිතයේ ඇති සමාජ මාධ්‍ය ඉතා බරපතල ලෙස පෞද්ගලික භාවයේ අයිතිය උල්ලංඝනය කරන බවට චෝදනාවක් පවතියි. එ සේ ම තාක්ෂණයේ ඇත්තා වූ ඇති නවීනත්වය තුළ සම්ප‍්‍රධායික නීති අණපනත් හෝ වෙනත් ප‍්‍රථමික ක්‍‍්‍රමවේදයන් මගින් තොරතුරු සන්නිවේදනය වීම ද වැලක්වීමට නො හැකි ය.

මේ අයුරින් කිව හැක්කේ අන්තර්ජාලය තුළ පවතින විවිධ වෙබ් අඩවි තුළ ආචාරධර්ම පිළිපැදීම මෙන් ම කඩවීම පිළිබඳව ද අධ්‍යයනය කිරීම ද ඉතා වැදගත් බවයි. ජනමාධ්‍ය හා ප‍්‍රවෘත්ති අමාත්‍යාංශය විසින් ඉදිරිපත් කර ඇති ජනමාධ්‍ය ආචාරධර්ම සංග‍්‍රහයෙහි හැඳින්වීමෙහි අනෙකුත් මාධ්‍යයන් ආචාරධර්මයන් පිළිපැදිය යුතු වනවා සේ ම වෙබ් අඩවි පවත්වාගෙන යාමේ දී ද ආචාරධර්මයන්ට එකඟව එය පවත්වාගෙන යා යුතු බව මෙ පරිදි සඳහන් කළ හැකි ය.

”ජනමධ්‍යවේදයෙහි උසස් ම ප‍්‍රමිති පවත්වාගන්නා අතර ම ශ‍්‍රී ලංකාවේ විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය සහ වෙබ් අඩවිවල අන්තර්ගතය නිදහස්, වගකීම් සහගත හා පාඨක  පේ‍්‍රක්ෂක උවමනා සහ අපේක්ෂාවන්ට සංවේදී බව සහතික කිරීම අරමුණු කරගත් මෙම ජනමාධ්‍ය ආචාරධර්ම සංග‍්‍රහය, වෙබ් අඩවි ඇතුළු සියලූම විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ආයතන සහ මාධ්‍යවේදීන් විසන් පිළිපැදිය යුතු ය



Tuesday, 3 February 2026

 නිර්මහාපරිමාණකරණය.....

නිර්මහාපරිමාණකරණය යනු මහා ග්‍රාහක කණ්ඩායම් ඉන් මිදී කුඩා කොටස්වලට වෙන්වී යාමයි. නොඑසේනම් මාධ්‍ය ග්‍රාහකත්වය අල්ප පරාස විකාශන ක්‍රමවලට යොමු වීමය. වඩාත් හොදින් පැහැදිලි කලහොත් නිමහාපරිමාණකරණය යනු ග්‍රාහක ක්ෂේත්‍ර වශයෙන් කුඩා කුඩා කණඩායම්වලට බෙදී යාමයි.

සන්නිවේදන අධ්‍යයනයේදී මහා පරිමාණකරණය යනු පුලුල් ග්‍රාහක ක්ෂේත්‍රයකට ඇමතීම සදහා සන්නිවේදන මාධ්‍ය භාවිතයට ගැනීම ලෙස හදුනාගත හැකිය. එහිදී ග්‍රාහකයන් පොදූ ජනතාව සහ ප්‍රජා කණඩායම් ලෙස බෙදේ. එහෙත් නිර්මහාපරිමාණකරණය ලෙස හදුන්වන්නේ මහා ග්‍රහක පිරිසෙන් කුඩා කොටස්වලට කැඩී ග්‍රාහකයන් වෙන් වී යාමය.

නිර්මහාපරිමාණකරණයේදී සිදුවන්නේ නොදන්නා පුද්ගල කණ්ඩායමකට සන්නිවේදනය කරනවා වෙනුවට නිශ්චිත ඉලක්කගත කණඩායමකට සන්නිවේදනය කිරීමයි.  මෙහිදී ග්‍රහකයා ගේ කැමත්ත පිලිබදව සහ ඔවුන්ගේ රුචි අරුචිකම් පිලිබදව අවධානය යොමු කරයි. ඉලක්කගත මාධ්‍ය  පණිවිඩයක් තෝරාගත් නිශ්චිත ග්‍රාහක පිරිසකට ලබා දීම මෙහිදී සිදුවේ.

මාධ්‍ය තාක්ෂණයේ වර්ධනයත් සමග නිර්මහාපරිමාණකරණය ක්‍රමයෙන් ව්‍යප්ත වූ බව හදුනාගත හැකිය. පොදු ග්‍රාහකයන්ට ආමන්ත්‍රණය කර පසුව සන්නිවේදන මාධ්‍ය ඔස්සේ ළමා, කාන්තා, ක්‍රීඩා, ප්‍රවෘත්ති, චිත්‍ර්පට වැනි අංශ කෙරේ අවධානය යොමු වී තිබේ. 21 වන සියවස වන විට මෙය තව දුරටත් වර්ධනය විය.

නිර්මහාපරිමාණකරණය හේතුවෙන් ශ්‍රව්‍ය, දෘශ්‍ය හා මුද්‍රිත මාධ්‍යවල පැවති පොදු ග්‍රාහක ක්ෂේත්‍ර වෙනුවට විවිධාකාරයේ ග්‍රාහක ක්ෂේත්‍ර බිහිවිය. අන්තර්ජාල ක්‍රියාදාම ,පරිගණක මාර්ගගත ක්‍රීඩා , වීඩියෝ ක්‍රීඩා හරහා නිර්මහාපරිමාණකරණය තව තවත් ව්‍යාප්ත විය. සමාජ මාධ්‍ය හේතුවෙන් මේ ත්ත්වය තව දුරටත් ව්‍යප්ත විණි.

මේ වන විට අන්තර්ජලයේ ව්‍ය්ප්තියත් සමග කුඩා කුඩා පිරිස් එක්වී සන්නිවේදනය සිදු කරයි. ෆේස්බුක් සමාජ ජාලය එයට නිදසුන් ය.එහිදී කුඩා කුඩා මිතුරු සමාජ තොරතුරු හුවමාරු කර ගන්නා ආකාරය දැකිය හැකිය.මෙහිදී නිශ්චිත ග්‍රාහකයන් පිරිසක් දැකිය හැකිය.

Saturday, 24 January 2026

 ජන සන්නිවේදනය යනු



සන්නිවේදන වර්ග අතුරින් එක් සන්නිවේදන වර්ගයක් ලෙස ජන සන්නිවේදනය හැදින්විය හැකිය.මෙම ජන සන්නිවේදනය යනු කුමක්ද යන්න පිළිබද පහත පරිදි පෙන්වා දිය හැකිය.

* වෘත්තීය සන්නිවේදකයන් යාන්ත්‍රික මාධ්‍ය වහල් කොට ගෙන පුළුල් ලෙසත් ක්ෂණිකවත් අඛණ්ඩවත් විශාල වූත් විවිධ වූත් ග්‍රාහක ක්ෂේත්‍රයන් වෙත සන්දේශය පතුරවමින් යම් බලපෑමක් ඇති කිරීමේ ක්‍රියාවලිය යි.

* අතිවිශාල ජන පිරිසක් එකවර ඉලක්ක කර ගනිමින් තොරතුරු බෙදා දෙයි. සන්දේශය පොදු ය. අන්තර්ගතය සැමට විවෘත වේ. ග්‍රාහක පිරිස විෂම ජාතීය පිරිසක් වේ. එමෙන් ම ජන සන්නිවේදනයේ ග්‍රාහක පිරිස සමාජයක සාමූහික ව විශේෂිත වූ පිරිසකි.

* සමාන්‍යයයෙන් සංකීර්ණ විධිමත් ආයතනික රටාවක් දක්නට ලැබේ. ජන සන්නිවේදන ක්‍රියාවලිය එක් තැනකින් ආරම්භ වී ගොස් ප්‍රතිපෝෂණය ලෙස ආපසු හැරී එන ආකාරය මෙමඟින් විග්‍රහ කෙරේ.

ජනසන්නිවේදනයේ ලක්ෂණ

* අතිවිශාල ජන පිරිසක් එකවර ඉලක්ක කර ගනිමින් තොරතුරු බෙදා දෙයි. 

* සන්දේශය පොදු ය. 

* සෑම විටම ජනමාධ්‍ය භාවිතා කරයි

* පුහුණු ශිල්පීන් සිටී

* බහුවිධ දොරටුපාලකයන් දැකගත හැකිය

* සංවිධානාත්මක ආයතනික රටාවක් ඇත

* අන්තර්ගතය සැමට විවෘත වේ. 

* ග්‍රාහක පිරිස විෂම ජාතීය පිරිසක් වේ. 

* එමෙන් ම ජන සන්නිවේදනයේ ග්‍රාහක පිරිස සමාජයක සාමූහික ව විශේෂිත වූ පිරිසකි. 

* සමාන්‍යයයෙන් සංකීර්ණ විධිමත් ආයතනික රටාවක් දක්නට ලැබේ. 

* ජන සන්නිවේදනය සංකීර්ණ ක්‍රියාවලියකි. 

* විවිධ ජන සන්නිවේදන ආකෘති මඟින් මෙම ක්‍රියාවලිය සරල ව පැහැදිලි කර ගත හැකි වේ.




Tuesday, 20 January 2026

 සන්නිවේදනය පිළිබඳ නිර්වචන


සන්නිවේදනය පිළිබඳ ව මූලික අවබෝධයක් ලැබීමට ඒ සම්බන්ධයෙන් ඉදිරිපත් වී ඇති නිර්වචන ඉතා ප්‍රයෝජනවත් ය. විවිධ විදව්තනු  හා ආයතනකි සංවිධාන මගින් ඉදිරිපත් කර ඇති සන්නිවේදනය පිළිබඳ නිර්වචන අතර සාම්‍යයක් දක්නට නොලැබුණ ද ඒවා මඟින් ඉදිරිපත් කෙරෙන මූලික සාදක පිළිබඳ ව අවධානය යොමු කිරීමෙන් සන්නිවේදනය සම්බන්ධයෙන් වඩාත් අර්ථවත් විවරණයක් සපයා ගත හැකි වේ.

* සන්නිවේදනය පිළිබඳ හැරල්ඩ් ඩී. ලැස්වෙල්ගේ නිර්වචනය (1948)

 “යම් කිසිවෙකු, යම් කිසිවක්, කිසියම් නාලිකාවකින් යම් කිසිවෙකුට කිසියම් බලපෑමක් කිරීම සඳහා ප්‍රකාශ කරනු ලබන දෙය සන්නිවේදනය යි.”

මෙහිදී ලැස්වෙල් විසින් දේශපාලනික ප්‍රවේශයකින් නිර්වචනය ඉදිරිපත් කරනු ලබයි.බලපෑම යනු දේශපාලනිකව සාකච්ඡා කෙරෙන ප්‍රබල ලක්ෂණයකි.එය සන්නිවේදනයේ අග්‍රඵලය ලෙස මෙම නිර්වචනයේ දී දක්වා ඇත. 

* සන්නිවේදනය පිළිබඳ ශැනොන් සහ වීවර්ගේ නිර්වචනය (1949)  

 “සන්නිවේදනය යනු යම් තැනක දී නිර්මාණය කර ගත් හෝ තෝරාගත් පණිවිඩයක් ඒ ආකාරයෙන් ම හෝ ඊට සමාන ලෙස වෙනත් තැනක දී ප්‍රතිනිර්මාණය කිරීමයි”

මොවුන් සන්නිවේදනය පිළිබද හෙලන දෘෂ්ටිය ද තාක්ෂණික ස්වරූපයක් ගන්නා බව දක්නට ලැබේ.නමුත් මොවුන් සන්නිවේදන මූලිකාංග පිළිබඳව ද අවධානය යොමු කර ඇති බව දක්නට ලැබේ.

* සන්නිවේදනය පිළිබඳ විල්බර් ශ්‍රාම්ගේ නිර්වචනය (1954) 

“තොරතුරු ගැබ් වූ සංඥාවක් කරණ කොට ගෙන දෙපාර්ශ්වයක් අතර එක හා සමාන චිත්ත ස්වභාවයක් ඇති වීම සන්නිවේදනය යි”

සන්නිවේදනයෙහි යෙදෙන පුද්ගලයන් අතර සමාජ පසුබිම, අත්දැකීම් පසුතලය සම තත්වයක පවතී නම් එකී කාර්ය වඩාත් පහසු වන බව ශ්‍රාම්ගේ නිර්වචනයෙන් පැහැදිලි වේ. මෙබඳු සමාජ තත්වයක් නොතිබුණ ද සන්නිවේදනයෙහි යෙදීමට බාධාවක් නැත. එහෙත් ඉදිරිපත් කරන සංදේශයෙහි අරුත නිසි පරිදි වටහා ගැනීමට ඇති බාධාව මේ නිසා උද්ගත වේ. එබැවින් ගැඹුරු සන්නිවේදන ක්‍රියාවලයකදී දෙපක්ෂය අතර සමානත්වයක් තිබීම වඩාත් ප්‍රතිඵලදායක ය.

* සන්නිවේදනය පිළිබඳ එඩ්වඩ් සැෆීර්

''සමාජය යනු අනෙකක් නොව සන්නිවේදනය හේතු කොටගෙන සන්නිවේදනය තුළින් පවත්වාගෙන යනු ලබන සබදතා ජාලයයි. පුද්ගල චර්යාවට අදාළ සෑම සංස්කෘතික රටාවක්ම සහ චර්යාවට අදාළ සෑම ක්‍රියාවක්ම කෙලින්ම හෝ වක්‍රව සන්නවේදනයටසම්බන්ධයක් ඇත.''

සමාජ විද්‍යාඥයෙක් වන සැපීර් මෙම නිර්වචනය සන්නිවේදනය පිළිබඳ ඉදිරිපත් කළ එකක් නොවේ. සමාජය පිළිබඳව ඉදිරිපත් කර ඇති අතර, සමාජය හා සන්නිවේදනය අතර ඇති අවියෝජනීය සම්බන්ධතාව නිසාම මෙය සන්නිවේදනය පිළිබඳව කරන ලද නිර්වචනයක් සේ දිස්වේ.

* සන්නිවේදනය පිළිබඳ චාල්ස් එච්. කූලිගෙ නිර්වචනය

“මානව සම්බන්ධතා රඳවා සිටින්නා වූත්, වර්ධනය කරන්නා වූත්, සියලු සංකේත මෙන් ම, ඒවා දේශයෙන් දේශයට ප්‍රවාහනය කිරීමටත්, කාලයේ බැඳුම්වලින් ඔබ්බට ගොස් සුරක්ෂිත කර ගැනීමටත් උපකාරී වන උපක්‍රම සන්නිවේදනය යි.”

* ඔක්ස්ෆර්ඩ් ශබ්දකෝෂයේ නිර්වචනය

“අදහස, දැනුම යනාදිය භාෂණය හෝ ලේඛනය හෝ සංඥා මඟින් ප්‍රදානය කිරීම, ප්‍රකාශ කිරීම හෝ හුවමාරු කර ගැනීම සන්නිවේදනය යි.









ලංකාවේ පුවත්පත් කලාව  

ලාංකේය ලේඛන ඉතිහාසය පිළිබඳව විග්‍රහ කිරීමේදී එය අදියර කිහිපයක් යටතේ සාකච්ඡා කළ හැකිය. මුල් අදියර ක්‍රි.ව. 1800 – 1860 දක්වා දැක්වීමට හැකිය. ඉංග්‍රීසි පාලන කාලයේදී ප්‍රථම වාරික ප්‍රකාශනයක් ලෙස “ලංකාණ්ඩු ගැසට් පත්‍රය” (Ceylon Government Gazette) ආරම්භ විය. ඒ 1802 මාර්තු වලදීය. ආණ්ඩුවේ නිල නිවේදන, පරිපාලන තොරතුරු දැන ගැනීමට පළකරන ලද්දක් වුවද එහි ගද්‍යපද්‍ය කොටස් පළවී තිබිණි. ලංකාවේ පළ වූ පළමු පුවත්පත ලෙස සැලකෙන්නේ ‘ද කලම්බු ජර්නර්ල් (THE COLOMBOJOURNAL) පුවත්පතයි.1832 ඇරඹුණු මෙය එවකට සිවිල් සේවකයකු වූ ‘ජෝර්ජ් ලී’ විසින් සංස්කරණය කරන ලද්දකි.

එබඳු තවත් පුවත්පතක් වූයේ 1834 දී ආරම්භ කෙරුණු ඔබ්සර්වර් ඇන්ඩ් කොමර්ෂල් ඇඩ්වර්ටයිසර් (THE OBSERVER ANDCOMMERCAIL ADVERTISER) පුවත්පතයි. මේ කාලය තුළදී පළවූ පුවත්පත් ආදියෙන් ආගමික අධ්‍යාපනික කරුණු ප්‍රධාන තැනක් ගත් බව පෙනේ. මිෂනාරි ක්‍රිස්තියානි දහම පැතිරවීම සඳහා ජනමාධ්‍ය යොදාගත් බව පෙනේ. 1812 දී ආරම්භ වුණු බයිබල් මුද්‍රණාලය ඒ අතින් වැදගත් වන්නකි. මේ කාලයේ බැප්ටිස්ට් පල්ලිය මඟින් කෝට්ටේ හා මහනුවර ද ඇමරිකන් මිෂනාරි සේවයෙන් යාපනයේ ද මුද්‍රණාල පිහිටුවා මුද්‍රණ කටයුතු සිදුකොට තිබේ. සිංහල දෙමළ ඉංග්‍රීසි භාෂාත්‍රයෙන්ම මුද්‍රිත වූ මේ ප්‍රකාශන තුළින් වැදගත් තොරතුරු පාඨකයාට ලැබී ඇත.

1932 දී ප්‍රථම සිංහල සඟරාව “මාසික තෑග්ග” නමින් බිහිවිය.එමෙන්ම සමහරක් අර්ථ දක්වන්නේ “ලංකා නිධානය” පළමු සිංහල පුවත්පත බවයි.

මෙය පුවත්පතකට වඩා පොතක හැඩය ගත් බව සිංහල සාහිත්‍ය වංශයේ සඳහන් වේ. 1846 දී “සාහිත්‍ය නිධානය” නම් සඟරාව පළවිය. එහි කතුවරයා වූයේ ජෝන් පෙරේරා මහතා ය. මෙකී මුල් කාලීන පුවත්පත් සඟරාවන්හි මූලික අරමුණක් වී ඇත්තේ ක්‍රිස්තියානි ධර්ම ප්‍රචාරය කිරීමයි. එහි ප්‍රතිඵලයක් ලෙස බෞද්ධයන් ද මුද්‍රණාල ආරම්භ කිරීමේ ප්‍රවණතාවක් දක්නට ලැබේ. ආගමික වශයෙන් හෝ මේ යුගයේ ලේඛන කලාවේ එවැනි පුනරුදයක් ඇතිවීම සාධනීය ය. ඒ අතර පාඨකයන් හා ලේඛකයන් අතර පොත්පත් සඟරා පුවත්පත් කියවීමේ රුචියක් ද වර්ධනය වෙනු දක්නට ලැබේ.

මෙහි දෙවන අදියර ලෙසින් සැලකිය හැක්කේ 1860 – 1900 දක්වා කාලයයි. මේ කාලයේ ඇති විශේෂත්වයක් වනුයේ ආගමික වාද විවාද හා ශාස්ත්‍රීය වාද විවාද නිසා ලේඛන ඉතිහාසයේ නව පරිච්ඡේදයක් ආරම්භ වීමයි. ඉංග්‍රිසි පුවත්පත් බිහිවී දසක කිහිපයකට පසුව 1860 දී “ලංකාලෝකය” නමැති ප්‍රථම සිංහල පුවත්පත ආරම්භ වේ. මේ කාලය වන විට සියලු ම මුද්‍රණාලයන්හි අයිතිය ක්‍රිස්තු භක්තියකයන් අත පැවතීම නිසා බෞද්ධයන්ට සිදුවන පහර වැදීම් වළකා ගැනීමට බුලත්ගම ධම්මාලංකාර හිමියන්ගේ ප්‍රධානත්වයෙන් සියම් රජුගේ ද ආධාර ඇතිව ගාල්ලේ ‘ලංකෝපකාරය’ නමින් මුද්‍රණාල‍යක් ආරම්භ කළේ ය. එයින් පිට කළ පළමු පුවත්පත වූයේ ‘ලංකාලෝකයයි’. පළමු පුවත්පත ලංකාලෝකය වුවත් රජයේ ලියාපදිංචි කරන ලද පළමු පුවත්වත වනුයේ ‘ලක්මිණි පහණ’ය. එහි කතුවරයා වූයේ කොග්ගල පඬිතුමා ය. මේ පුවත්පතෙහි ආකෘතිය හා අන්තර්ගතය එකල වැදගත්කමක් දැරීය.

ඉංග්‍රීසි පුවත්පත්වල ස්වභාවය දෙස බලා සකස් කරගත් කරුණු වලින් පත්‍රය සමන්විත වන බව එහි කතුවැකියේ ම සඳහන් ය. 1866 දී ආරම්භ වුණු ‘ඥානාර්ථප්‍රදීපය’ පුවත්පත දීර්ඝ ඉතිහාසයක් ඇති පුවත්පතකි. මෙය කතෝලික සභාව විසින් ආරම්භ කරන ලද්දකි. ක‍තෝලික දහම ප්‍රචාරය කිරීමේ ලිපි ලේඛන බහුල වශයෙන් මෙහි ඇතුළත් වූ අතර පසු කාලයේදී විවිධ වාද විවාද වලට භාජනය වූ ලිපි ලේඛන ද මෙහි පළ විය. ඒ හැර ක‍තෝලික ජනතාවට සිංහල භාෂාව පිළිබඳ දැනුමක් සිංහල සංස්කෘතිය පිළිබඳ දැනුමත් ලබාදීමෙන් විශාල සමාජයීය කාර්යයක් සිදුකොට ඇති බව පෙනේ. ඥානාර්ථප්‍රදීපය පුවත්පතින් නඟන ලද ප්‍රශ්නවලට පිළිතුරු දීම පිණිස බෞද්ධයන් විසින් 1867 දී “සත්‍ය මාර්ගය” නමින් පුවත්පතක් ආරම්භ කෙරිණි. එහෙත් මෙය දීර්ඝ කාලයක් පවත්වා ගෙන ගොස් නැත. ලේඛන ඉතිහාසයේ දී මෙබඳු පුවත්පත් වැදගත් මෙහෙයක් ඉටු කළ බව කිවහැකි වන්නේ ජනමාධ්‍ය ශිල්පීන් ඒ ඔස්සේ විවාද මණ්ඩප විවෘත කරගත් බැවිනි.

මෙකල්හි පුවත්පත් කලාවේ වැදගත් වන තවත් ලක්ෂණයක් වනුයේ කවට පුවත්පත් ආරම්භ වීමයි. ජනමාධ්‍යයේ මුඛ්‍ය අපේක්ෂා වන විනෝදාස්වාදන මාර්ගය සොයා ගැනීමේ නව ප්‍රවණතාවක් ඒ අනුව බිහි විය. මෙය වැදගත් ඉලක්ක කණ්ඩායමයක් යැයි සැලකූ ජී.ඩී. පෑලිස් අප්පුහාමි 1871 දී “කවට කතිකයා” පුවත්පත් ආරම්භ කළේ ය. ඒ අනුව යමින් 19 වැනි සියවස තුළ දී පළ වූ තවත් පුවත්පත් කිහිපයක් නම් කවට දක්ෂයා (1889) කවට මිත්‍රයා (1891) කවට නරේන්ද්‍රයා (1891) කවටයා (1894) දැනුමැති කවටයා (1895) යනාදියයි.

මෙරට නිදහස් ව්‍යාපාරයේ පුරෝගාමී මධ්‍යස්ථානයක් වූ පරම විඥානාර්ථ සමාගමේ පාලනය යටතේ 1830 “සරසවි සඳරැස” පුවත්පත ආරම්භ විය. වේරගම පුඤ්චිබණ්ඩාර මහතා මෙහි කතුවරයා විය. මෙය ජාතිකාභිමානය ඇතිකරවන සුලු පුවත්පතක් විය. ප්‍රකට ආගමික නායකයකු වන අනගාරික ධර්මපාල තුමා ද මෙයට සම්බන්ධ වූවෙකි. එමෙන්ම එවකට පැවති ණ, න, ළ, ල ගුත්තිල වැනි වාද විවාද පවත්වාගෙන යන ලද්දේ සරසවි සඳරැස පුවත්පතයි. මේ පුවත්පත අධිරාජ්‍ය විරෝධී අදහස් පළ කිරීම නිසා කතුවරයාට විරුද්ධ ව නඩු පවරා ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස ආණ්ඩුව 1915 දී “සරසවි සඳරැස” තහනම් කොට ඇත.

ප්‍රථම වරට දිනපතා පළවන පුවත්පතක් ලෙස ආරම්භ වන්නේ “දිනපතා ප්‍රවෘත්ති” නම් පුවත්පතයි. මෙය ආරම්භ වනුයේ 1890 දී පමණ බව සිංහල සාහිත්‍ය වංශයේ සඳහන් වේ.

මේ අතර 19 වැනි සියවස අග භාගයේදී විවිධ විෂයයන් යටතේ පළවන පුවත්පත් සඟරා දක්නට ලැබේ. ගොවිකම් සඟරාව (1890) විද්‍යා දර්ශන සඟරාව (1893) ලංකා කම්කරු ප්‍රබෝධය (1893) වෛද්‍ය ශාස්ත්‍රාලංකාරය විද්‍යා දීපිකා (1895) යනාදි විෂය ක්ෂේත්‍රයන් සඳහා ලියැවුණු සඟරා ආදිය බිහිවීමෙන් ලේඛන ඉතිහාසයේ ප්‍රවණතා මැනගත හැකිය. 19 වැනි සියවසේ අවසාන කාලපරිච්ඡේදය වන විට ජාතික හැඟීම් ප්‍රබුද්ධකොට විදේශීය පාලකයන්ගෙන් මිදීමට දරන උත්සාහය සමහර පුවත්පත් සඟරා ආදියෙන් පෙනෙන්නට ඇත. මේ සඳහා ජනමාධ්‍ය යොදාගත් ආකාරයක් ද පෙනේ.

තෙවන අදියර ලෙසින් සැලකෙන 1900 – 1948 කාලවකවානු තුළ ලංකාවට නිදහස ලබාගැනම ආදී වූ වැදගත් ම සන්ධිස්ථානයන් රැසක් පසුකරන බව පෙනේ. ප්‍රධාන පෙළේ පුවත්පත් ආයතන ආරම්භ වීමත් දේශපාලන කටයුතු වලට උද්‍යෝගයෙන් නැඹුරු වීමත් වාමාංශික ව්‍යාපාරය වර්ධනය වීමත් ඒවා පුවත්පත් සඟරා ඔස්සේ ව්‍යාප්ත වීමත් දක්නට ලැබෙන විශේෂත්වයකි.

1906 දී ඇරඹුණු “සිංහල බෞද්ධයා” පුවත්පත මහාබෝධි සමාගම විසින් අනගාරික ධර්මපාල තුමා යටතේ ආරම්භ කෙරිණි. ජාතික නිදහස උදෙසා ජනතාව අවදි කිරීමට දරන උත්සාහය මේ පුවත්පතින් දක්නට ලැබිණි. මේ නිසාම ඉංග්‍රීසි ආණ්ඩුව විසින් සිංහල බෞද්ධයා පුවත්පත 1915 දී තහනම් කරන ලදී. 1910 දී ඇරඹුණු “සිංහල ජාතිය” පුවත්පතින් ද එබඳු ම සේවාවක් වී තිබේ. පියදාස සිරිසේන මහතා ආරම්භ කළ මේ පුවත්පත 1902 දී ආරම්භ කළ “සිංහල ජාතිය” සඟරාව පුවත්පතට හැරවීමකි

1909 වර්ෂය වන විට තවත් වැදගත් සංධිස්ථානයක් ලාංකේය පුවත්පත් කලාවේ සිදු වේ. ඒ දිනපතා පුවත්පතක් වශයෙන් “දිනමිණ” ආරම්භ වීමයි. එච්.එස්. පෙරේරා මහතා විසින් ආරම්භ කරන ලද මේ පුවත්පත ආර්ථික අපහසුතා හේතුවෙන් නවත්වන තැනට කටයුතු යෙදී තිබිණි. අනතුරුව 1914 දී ඩී. ආර්. විජයවර්ධන මහතා විසින් මිලදී ගනු ලැබුව දිනමිණ පුවත්පත ප්‍රතිසංස්කරණවලට භාජනය විය. කෙසේ වෙතත් සීමාසහිත ලංකාවේ එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම ආරම්භ වනුයේ ද ඉන් අනතුරුව ය. ඒ වන විට පැවති ටයිම්ස් ආයතනය සමඟ තරග කිරීමේ ශක්තිය තිබුණේ ලේක්හවුස් ආයතනයට ය. ටයිම්ස් ආයතනයට වඩා ලේක්හවුස් ආයතනය දේශීයත්වයට නැඹුරු බවක් දැක්වීය.


එකල පැවති ඉංග්‍රීසි පුවත්පත් කිහිපයක් ම මිලදී ගනිමින් ලේක්හවුස් ආයතනය ප්‍රවර්ධනය කිරීමට ඩී.ආර්. වි‍ජේවර්ධන මහතා තීරණය කිරීම වැදගත් කරුණකි. ඩේලි නිව්ස් හා සිලෝන් ඔබ්සර්වර් වැනි පත්‍ර මිලදී ගනිමින් ලාංකේය ලේඛන ඉතිහාසයේ නව නැම්මක් සළකුණු කිරීමට ඔහුට හැකි වී තිබේ.

1880 දී ආරම්භ වූ “සරසවි සඳරැස” හා 1901 දී ආරම්භ වුණු “සිංහල සමය” යන පුවත්පත් දෙක එකතුකොට 1916 දී සරසවි සඳරැස හා සිංහල සමය යනුවෙන් පළකරන ලදී. මේ කාලයේ පුවත්පත් සඟරා ආදිය පවත්වාගෙන යෑමේ දුෂ්කරතා ඇතිවී ඇති අතර පුවත්පත් ආචාරධර්මවලට පටහැනි ලක්ෂණ පෙන්නුම් කරන පුවත්පත් කිහිපයක් ද බිහිවී ඇති බව පෙනේ. “ලටපට” “ඒක මේක” “අංජනම් එළිය” “මරු සන්නිය” “සුදු කොඩිය” ඉන් කිහිපයකි.

1924 දී ආරම්භ කරන ලද “ස්වදේශීය මිත්‍රයා” පුවත්පත ඉතාමත් ආදර්ශවත් පුවත්පතකි. මෙහි කතුවරයා වූයේ ඩී.ඩබ්ලිව්. වික්‍රමාරච්චි මහතා ය. මේ පුවත්පත දීර්ඝ කාලයක් තිස්සේ නොපැවතුණත් පැවති කාලය තුළ දී ඉතාමත් වැදගත් මෙහෙයක් ඉටුකළ පුවත්පතකි. මේ අතරේදී 1930 වර්ෂයේ “සිළුමිණ” නමින් ඉරිදා පත්‍රයක් බිහිවුණ අතර එය හැඳින්වූයේ “ශත දහයේ විශ්ව විද්‍යාලය” නමිනි. පියසේන නිශ්ශංක මහතාගේ ආරම්භක කර්තෘත්වයෙන් යුත් මේ පුවත්පත බිහිවූයේ ලේක්හවුස් ආයතනය හරහා ය.

1930 දී ගණන් වන විට පුවත්පත් කලාවේ නව පිබිදීමක් ඇතිවිය. ඒ වාමාංශික ව්‍යාපාරය ආරම්භ වීමත් සමඟම පුවත්පත් කිහිපයක් ම බිහිවීමෙනි. මේ ප්‍රවණතාව යටතේ බිහි වූ පළමු පුවත්පත වන්නේ 1934 දී බිහිවුණු “කම්කරුවා” පුවත්පතයි. ගොවි කම්කරු ජනතාව වෙනුවෙන් මේ පුවත්පත පෙනී සිටියේ ය. ලංකා සමසමාජ පක්ෂය ආරම්භ වීමෙන් පසු සිංහල දෙමළ ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයෙන් “සමසමාජය” පුවත්පත් බිහිවිය. අධිරාජ්‍ය විරෝධී මත ප්‍රබල ලෙස පළ කරන ලද පුවත්පතක් වශයෙන් “සමසමාජය” එකල ප්‍රකට විය. 1940 ගණන් වල වාමාංශික ව්‍යාපාරයේ ඇති වුණු බේද භින්නතා නිසා පුවත්පත් කිහිපයක් ම බිහි වී තිබේ. ‘නවශක්ති’, ‘මව්බිම’, ‘නවලෝකය’, ‘ගිනි පුපුර’ ඉන් කිහිපයකි. මේ පුවත්පත් තුළින් කැපී පෙනුණු ලක්ෂණයක් වූයේ අධිරාජ්‍ය විරෝධී අදහස් මෙන්ම ජාතික නිදහස අරමුණු කරගත් අදහස් ද බහුල ව භාවිතා වීමයි. මේ නිසා මේ පුවත්පත්වල කතුවරුන්ට වරින්වර සිර දඬුවම් විඳින්නට සිදු විය.

සිව්වන අදියර ලෙසින් 1948 – 1970 දක්වා කාලය ගත හැකිය. 1948 නිදහස ලබා ගැනීමෙන් පසුව පුවත්පත් සඟරා දේශීය සංස්කෘතිය ගැන හා සාමාජීය ප්‍රශ්න පිළිබඳ අවබෝධයක් ලබාගෙන තිබේ. විවිධ පාඨක කණ්ඩායම් වෙත මෙන්ම දේශපාලනික කරුණු කෙරෙහි ද නැඹුරුවක් යොමුකොට තිබේ. 1947 දී ආරම්භ වුණු “ලංකාදීප” පුවත්පත ලේක්හවුස් ආයතනයේ “දිනමිණ” පුවත්පතට වඩා දේශීය සම්ප්‍රදාය කෙරෙහි වැඩි අවධානයක් යොමු‍ෙකාට තිබේ. සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු යන පංචමහා බලවේග යටතේ ජනතාව ගොනු කරමින් නව චින්තනයක් ඔස්සේ ඔවුන් මෙහෙයවීමට දැරූ උත්සාහය එම පුවත්පතින් මුල්කාලයේදී දැකගත හැකිය.

මෙරට ප්‍රථම දිනපතා පුවත්පතක් ලෙස දේශපාලන අරමුණු පෙරදැරි කරගනිමින් බිහි වූයේ “කොමියුනිස්ට්” පුවත්පතයි. ඒ 1949 දී බිහිවුණු “සිංහලේ” පුවත්පතද 1956 දී ජනතා සටන් වලදී විශේෂ කාර්ය භාරයක් ඉටුකර තිබේ. ලංකාදීප පුවත්පතද මේ සඳහා සහයෝගයක් දැක්වීය. එකල සිටි ඉංග්‍රීසි උගතුන්ගේ ඒකාධිකාරය බිඳ දැමිය හැකි බලවේගයක් බිහි කිරීම මේ පුවත්පත්වල අරමුණ වූ බව පෙනේ. 

1953 දී සවස පුවත්පතක් ලෙසින් ටැබ්ලොයිඩ් ප්‍රමාණයේ “ජනතා” පුවත්පත ලේක්හවුස් ආයතනයෙන් බිහි විය. 1961 දී ඇම්. ඩී. ගුණසේන සමාගමේ ප්‍රධානත්වයෙන් “දවස” පුවත්පත් ආයතනය බිහි විය. දවස පුවත්පතේ කතුවරයා වූයේ “ලංකාදීප” පුවත්පතින් ඉවත් වූ ඩී. බී. ධනපාල මහතා ය. එකල ‘දවස’ ඉතාමත් ජනප්‍රිය පුවත්පතක් බවට පත් විය. ටික දිනකින් එහි ඉරිදා පුවත්පත වූ ‘රිවිරැස’ ආරම්භ විය. 60 දශකය වන විට ලංකාවේ ප්‍රධාන පෙළේ පුවත්පත් ආයතන තුනක් විය. එනම් ටයිම්ස් ආයතනය, ලේක්හවුස් ආයතනය හා දවස (ස්වාධීන ප්‍රවෘත්ති පත්‍ර ආයතනය) යන ආයතනයයි. 1964 දී සිදුවූ විශේෂ සිද්ධියක් වන්නේ එකල පැවති රජය විසින් පුවත්පත් කොමිසමක් පත් කිරීමෙන් පසුව ලේක්හවුස් ආයතනය රජයට පවරා ගැනීමට උත්සාහ දැරීමයි.

මෙහිදී පුවත්පත් ආයතන තුනම එයට විරුද්ධව ප්‍රබල ජනමතයක් ඇති කිරීමට කටයුතු කරනු ලැබීය. 1964 දී “ඇත්ත” පුවත්පත බිහි විය. ඉන්පසු දේශපාලන පුවත්පත් වන “ජනදින” “සිරිලක” ආදිය බිහිවිය. ඇත්ත පුවත්පතේ කතුවරයා වූ බී.ඒ. සිරිවර්ධන මහතාගේ කතුවැකි විශේෂයෙන් ප්‍රසාදයට ලක් වූ අතර අදත් ජන මතකයේ රැඳී ඇත.

පස්වන අදියර ලෙසින් 1970 න් පසු අද දක්වා කාලය සැලකිය හැකිය. නවීන තාක්ෂණික උපක්‍රම භාවිතා කිරීම මෙන්ම පුවත්පත් සංඛ්‍යවෙන් විශාල ප්‍රමාණයක් බිහි වීමද මේ කාලයේ විශේෂත්වයකි. රාජ්‍ය අංශයේ බලපෑම ජනමාධ්‍ය කෙරෙහි එල්ල වීම තදබල ලෙස ආරම්භ වූ කාලයක් ලෙස 70 දශකයෙන් පසුකාලය හැඳින්විය හැකිය. විවෘත ආර්ථිකය ලේඛන කලාවට බලපෑම් කරනා ප්‍රබල අන්දම ද මේ වකවානුවේ අපට දැකගත හැකිය. චිත්‍ර කතා පුවත්පත් මෙන්ම ලිංගික ප්‍රකාශන ද මේ වකවානුවේ බහුල වශයෙන් බිහි වේ.

ඊට අමතරව විවිධ විෂයන් යටතේ බිහිවන පුවත්පත් සඟරා විශාල ප්‍රමාණයක් ද මේ කාල වකවානුවේ දැකගත හැකිය. නිදසුනක් ලෙසින් සිනමා, සෞඛ්‍ය, අධ්‍යාපන, ජ්‍යෙතිෂය, කාන්තා ළමා, යොවුන්, ශාස්ත්‍රිය, ආගමික, දේශපාලන, චිත්‍ර කතා, ලිංගික යනාදී විවිධ ක්ෂේත්‍ර යටතේ පුවත්පත් බිහි වුවද මේවා දීර්ඝ කාලයක් පවත්වා ගැනීමේ හැකියාවක් ලැබෙන්නේ නැත. මන්ද එහි ඉලක්ක කණ්ඩායම්හි පවතින විචල්‍යතා නිසා ය.

1973 වර්ෂය පුවත්පත් නිදහස සම්බන්ධයෙන් තීරණාත්මක වර්ෂයකි. ලේක්හවුස් ආයතනය රජයට පවරා ගැනීමත් සමඟ ම පුවත්පත් සම්බන්ධයෙන් තීරණාත්මක වෙනස්කම් රාශියක් සිදුවිය. ඉන්පසු ලේක්හවුස් ආයතනය මඟින් පළ කළ පුවත්පත්වල සඳහන් වූයේ රජයට පක්ෂපාතී අදහස් ය. 1977 න් පසු වෙනත් පිරිසක් බලයට පත් වුවද එහි වෙනසක් සිදුවූයේ නැත. 1974 දී ‘දවස’ ආයතනයට සීල් තැබීම ද මෙකල සිදුවූ වැදගත් සිද්ධියකි. 1975 දී පමණ ටයිම්ස් ආයතනයේ ද විවිධ කලබල දක්නට ලැබුණි. මේ ආයතන සියල්ලෙහි ම විවිධ කලබල ඇතිවී ඇත්තේ දේශපාලන සිදුවීම් අරමුණු පෙරදැරි කරගනිමිනි. ලංකාවේ පුවත්පත් ආයතනවල මුහුණුවර වෙනස් ස්වභාවයක් ගන්නා අවදියක් ලෙස 70 න් පසු දශක කිහිපය හඳුන්වා දිය හැකිය. 

1977 වසරේදී දවස ආයතනය නිදහස් වූ අතර නව රජයක් පත්වූ පසු ‍ලේක්හවුස් ආයතනයේ ද වෙනස්කම් රාශියක් සිදුවිය. 1977 වසරේදී නව රජය යටතේ ටයිම්ස් ආයතනය රජයට පවරා ගනියි. 1985 දී ටයිම්ස් ආයතනය වසා දමනු ලැබීය.

ලේඛන ඉතිහාසයේ තවත් වැදගත් සිදුවීමක් සනිටුහන් වන්නේ 1981 දීය. එනම් උපාලි පුවත්පත් සමාගම ආරම්භ වීමයි. පළමුවෙන් 1981 දී “ඉරිදා දිවයින සංග්‍රහය” සහ “සන්ඩේ අයිලන්ඩ්” පුවත්පත් පළකරනු ලැබීය. 1982 සිට දිනපතා “දිවයින” සහ “දි අයිලන්ඩ්” පුවත්පත් ඇතුළු වාර ප්‍රකාශන කිහිපයක්ම මේ ආයතනය විසින් ආරම්භ ‍කොට ඇත.

මේ වන විට මුද්‍රණ ඉතිහාසයේද සුවිශේෂී වෙනස්කම් සිදුවෙමින් පැවතිණි. එහි වි‍ශේෂත්වයක් වන්නේ ඕෆ්සෙට් ක්‍රමය (OFFSET) යටතේ පුවත්පත් මුද්‍රණය ආරම්භ වීමයි. ලේක්හවුස් ආයතනය ප්‍රථමවරට ඕෆ්සෙට් ක්‍රමය යොදා ගැනීමට සූදානම් වුවත් ප්‍රථම වරට පුවත්පතක් මුද්‍රණය කරන ලද්දේ ටයිම්ස් ආයතනයයි. 1981 දී ශ්‍රී ලංකාදීප හා සන්ඩේ ටයිම්ස් යන පුවත්පත් දෙක ඕෆ්සෙට් ක්‍රමය යටතේ මුද්‍රණය විය. 1985 දී ටයිම්ස් ආයතනය වසා දැමුවත් 1986 දී රන්ජිත් විජයවර්ධන මහතා විසින් ඒ ආයතනය මිලදී ගැනීමෙන් පසුව පුවත්පත් මුද්‍රණය ආරම්භ කළේ ය. දිනපතා “ලංකාදීප” නැවත ආරම්භ වූයේ 1991 දීය. විජය ප්‍රකාශන සමාගම නමින් අද හඳුන්වන මේ ආයතනයෙන් මේ වන විට වාර ප්‍රකාශන රාශියක් ම මුද්‍රණය වේ.

1990 දී දවස ආයතනය වැසී ගියේය. 80 – 90 දශක තුළදී විකල්ප පුවත්පත් සඟරා බිහිවීමත් සැලකිය යුතු සිද්ධියකි. ප්‍රධාන පුවත්පත් දහරාවේ මහජනයාට හිතකර ප්‍රවෘත්තිවලට වඩා දේශපාලනයට හිතකර ප්‍රවෘත්ති ඉදිරිපත් වන බැවින් නියම ජනමතයක් ඉදිරිපත් නොවීය. මේ නිසා ඉතා ශීඝ්‍රයෙන් විකල්ප පුවත්පත් කලාවක් ආරම්භ විය. විකල්ප පුවත්පත් ඉතා ඉක්මනින් ම ජනප්‍රිය විය. දැනටත් ජනප්‍රිය ව පවතින රාවය මේ සඳහා නිදසුන් ය. රජයේ ආයතන මඟින් ද සඟරා කිහිපයක් නිකුත් වේ. 1970 සිට අද වන තුරු කාලය තුළදී ලේඛන කලාවේ විශාල ප්‍රගතියක් ලබා ඇති බව රහසක් නොවේ. තාක්ෂණික විධික්‍රමයන් හි වර්ධනයත් සමඟ සිත් ඇදගන්නා සුලු පුවත්පත් සඟරා බිහිවීමත් කලාත්මක නිමාවකින් යුක්ත වූ ආකෘති භාවිතා කිරීමත් සැලකිය යුතු කරුණකි. දියුණු රටවල යොදාගනු ලබන මුද්‍රණ ක්‍රම භාවිතය සහ අධි වේගයෙන් යුක්තව මුද්‍රණ කටයුතු කිරීමත් දක්නට ලැබේ. එසේ වුවත් ගුණාත්මක ලක්ෂණ දෙස බැලීමේදී සතුටුදායක තත්ත්වයක ඇති බව නම් නොපෙනේ. ප්‍රමාණයෙන් අධික වුවද ගුණයෙන් හිනවී තිබීම පැහැදිලිව පෙනෙන සත්‍යයකි. වාණිජ පරමාර්ථ උදෙසා පුවත්පත් බිහි වීම මෙයට හේතුවයි. අද වන විට මේ තත්ත්වය ඉතාමත් අභාග්‍යසම්පන්න ලෙසින් වර්ධනය වී තිබේ.








Friday, 16 January 2026

ගෝලීය සංස්කෘතිය 

ගෝලීයකරණය/ගෝලීය සම්ප්‍රධාය යන සංකල්පය මුලින්ම ඉදිරිපත් කරන ලද්දේ 1981 වර්ෂයේදී ජෝන් මැක්ලීන් විසිනි.

ගෝලීය සංස්කෘතිය සංකල්පය රෝලන් රොබට්සන් විසින් 1985 දී ඉදිරිපත් කරන ලදී.

මානව වර්ගයාගේ සමාජ පරිණාමය වර්තමානය වනවිට ගෝලීය මට්ටමක් දක්වා වර්ධනය වී ඇත. වෙන් වෙන්ව හුදකලාව වෙසෙමින් තම විවිධ අවශ්‍යතා ඉටුකර ගත් රට රටවල මහජනයා ලෝකය එක ම රටක් ලෙස සලකා කටයුතු කරන අයුරු දැකගත හැකිය. වෙනම ආගම් අදහන, වෙනම භාෂාවන් කතා කරන, වෙනම ආහාරපාන ගන්නා, වෙනම තීන්දු තීරණ ගන්නා පිරිසක් ලෙස නොසිතා ලොව සමස්ත වැසියෝ පොදු න්‍යාය පත්‍රයක් තුළ පිහිටා කටයුතු කරන සෙයක් දක්නට ලැබේ. එයට කියන්නේ ගෝලීයකරණය යන වචනයයි.


ගෝලීයකරණය මගින් වර්තමාන මිනිස් ජීවිතයේ සියලු ක්ෂේත්‍ර ස්පර්ශ කරනු ලබයි. ආහාර,නිවාස, ඇදුම් පැළදුම්, යාන වාහන, ව්‍යාපාර,අධ්‍යාපනය, සිරිත් විරිත්, චාරිත්‍ර වාරිත්‍ර යනාදිය තව දුරටත් තම දේශීය අනන්‍යතාවෙන් යුත්ත වැඩපිළිවෙළක් ඔස්සේ ක්‍රියාත්මක නොවේ. ඒවා ලෝකයේ කොහේ හෝ උපරි සමාජයකින් ව්‍යාප්ත වූවකි. නූතන මිනිසාගේ ඇගලුම් හා ශරීරාභරණ   දෙස විමසා බැලීමේදී පෙනී යන්නේ ඒවායෙහි කොටස් ලොව විවිධ රටවල නිපදවා ඇති ඒවා බවයි.

ගෝලීයකරණය මූලික වශයෙන් ආර්ථික ක්‍රියාවලියකි. ආර්ථික වාසි අත්පත් කර ගැනීමේ ප්‍රමුඛ අපේක්ෂාව මත ලොව සුපිරි රටවල ව්‍යාපාරික පැලැන්තියේ අනුග්‍රහය මත ගෝලීයකරණයට වැඩෙන්නට ඉඩහැර තිබේ.

ආර්ථිකයේ ගෝලීයකරණය යනු, නිෂ්පාදන බලවේගවල සහ නිෂ්පාදන සම්බන්ධතාවල ලෝක පරිමාණ ව්‍යාප්ත වීම සහ සියලු ජාතික, පාර ජාතික, බහුජාතික සමාගම්වල ක්‍රියාකාරීත්වය මගින් ලොවපුරා විසිරී පවතින විවිධ ආර්ථික ක්‍රියාකාරකම් ඒකීය සමස්ථයක් ලෙස ඒකාබද්ධව මෙහෙයවීමයි. එනම් මෙහිදී සිදුවන්නේ එක් එක් රටවල් මූලික කරගෙන බිහි වූ විවිධ ක්ෂේත්‍ර වලට අදාළ ව්‍යාපාර වෙනත් රටවල් කරා ද ව්‍යාප්ත වීම සිදු වූ බවයි. එපමණකින් නොනැවතී සමාන නිෂ්පාදන පවත්වාගෙන යන්නන්ගේ ගොනුගත වීමක් ද සිදුවන්නට විය. අසීමිත ලාභ අපේක්ෂාවෙන් බහුජාතික  සමාගම් ලෙස ඒකාබද්ධ වූ මොවුන් ජාතික රාජ්‍යයන්ට ද බලපෑම් කරමින් තම ව්‍යාපාර ඉලක්ක කරා ගමන් කරන්නට විය. මෙම බහුජාතික සමාගම් වලට එරෙහිව ගොඩනැගෙන සියලු ව්‍යාපාර තම මූල්‍යමය බලය යොදවා විනාශ කර තමන් තව දුරටත් ඒකාධිකාරී බලයක් සහිතව ගොඩනැගෙන්නට කටයුතු කරමින් සිටී.

වර්තමානයේදී මෙම ආර්ථිකයේ ගෝලීයකරණයට සමගාමී ව දේශපාලනය, සංස්කෘතිය, අධ්‍යාපනය, මාධ්‍ය ආදී මානව ක්‍රියාකාරීත්වයේ සියලු ක්ෂේත්‍ර  ගෝලීයකරණයට ලක් වී තිබේ.


 ඇමරිකානු ජනාධිපතිවරණයේදී ඊට ඉදිරිපත්වන අපේකෂකයින් තම දේශපාලන ප්‍රචාරක කටයුතු සිදුකරන්නේ ඇමරිකානු සමාජය පමණක් මූලික කරගෙන නොව සමස්ථ ලෝකය  ම ඉලක්ක කරගෙනය. එසේ කරන්නේ ඔවුන් ලෝකයම මෙහෙය වන රටක් වන නිසාත් ඔවුන්ගේ පාලකයින් ගනු ලබන තීන්දු තීරණ ලොව කෙරෙහි බලපාන නිසාත්ය.

 ශ්‍රි ලංකාවේ ශිෂ්‍ය  ප්‍රජාවට ඇමරිකාව, රුසියාව, එංගලන්තය, ඔස්ට්‍රේලියාව වැනි රටවලින් ඉදිරිපත් කරන විභාග සදහා ශ්‍රී ලංකාවේ සිට පෙනී සිටීමට හැකි වීම අධ්‍යාපනයේ ගෝලීයකරණයට උදාහරණයකි.

මානව සමාජ පරිණාමයේ ප්‍රතිඵලයක් ලෙස වර්ථමානයේ නිර්මාණය වී ඇති ගෝලීය උපරි සමාජය ඊට අයත් උපරි ආර්ථිකය, උපරි රාජ්‍ය, උපරි  දෘෂ්ටිවාදය, උපරි සංස්කෘතිය, උපරි මාධ්‍ය සංස්කෘතිය යනාදියෙහි ආධිපත්‍යයට නතුව තිබීම සමකාලීන ගෝලීය වර්ධනයේ විශේෂයකි.

උපරි සමාජ ලෙසින් හැදින්වෙන්නේ සුපිරි සමාජයන්ය. එනම් ආර්ථිකය ඇතුලු සෑම අතින් ම දියුණු සමාජයන්ය.ඇමරිකාව, බ්‍රිතාන්‍ය, ප්‍රංශය, ජර්මනිය, චීනය වැනි රාජ්‍යයන් ඊට උදාහරණ වේ. මෙම රටවල් අත්පත් කරගෙන ඇති බලවත්කම නිසා ම අන් රටවල් මේ රටවල් කෙරෙහි දක්වන්නේ වහල් භාවයකි. විචාර බුද්ධියකින් තොරව මෙවැනි රටවල්වල සංස්කෘතික ගති ලක්ෂණ දුප්පත් රටවල් විසින් ඇදහීම සදහා යොමු වී තිබීම සමකාලීන ගති ලක්ෂණයකි.

ගෝලීය උපරි සමාජ බිහිවීම   සමාජ ගමන්මගේ තවත් එක් අදියරක් ලෙස සැළකි හැකිය.

මුල් යුගයේ දී අනුගමනය කළ විවිධ ආර්ථික උපක්‍රම නිසාත්, දුප්පත් රටවල් යටත් විජිතයන් ලෙස පාලනය කරගෙන යාම නිසාත් ලෝකයේ සමහර බටහිර හා යුරෝපීය රටවල් ධනවත් රාජ්‍යයන් බවට පත් වූහ. ඔවුන් තම අණසක ලොවපුරා ව්‍යාප්ත කිරීමට කටයුතු කිරීමත් ඊට දුප්පත් රටවල් සටනකින් තොරව හිස නැමීමත් නිසා මෙම ආක්‍රමණික රටවල් බලවතුන් බවට පත්විය.

ඒ අනුව,ගෝලීය සංස්කෘතිය යනු,ගෝලීය උපරි සමාජයේ අනුදැනුම හා මග පෙන්වීම යටතේ ලොව සියලු ජාතික, වාර්ගික, සංස්කෘතීන් විනාශ කරමින් ව්‍යාප්ත වන ජන සංස්කෘතිය ලෙසින් හැදින්විය හැකිය.

උක්ත ප්‍රකාශයෙන් තහවුරු වන්නේ ලොව ධනවත්, මෙන්ම බලවත් රටවල්වල ආශිර්වාදයෙන් ඔවුන්ගේ උවමනාවට අනෙකුත් සංස්කෘතීන් පාගා දමා ගෝලීය සංස්කෘතිය ගොඩ නගන බවයි.

   සමකාලීන සංස්කෘතික ගෝලීයකරණය තුළ ක්‍රියාත්මක වන්නේ අධිරාජ්‍යවාදී ආකෘතියකි.

ex බොහෝ ජාතික රූපවාහිනී නාලිකාවල ආධිපත්‍ය දරන්නේ ගෝලීය උපරි සමාජය නියෝජනය කරන පාරජාතික සමාජවල රූපවාහිනී නිෂ්පාදන වීම. 

 ගෝලීය තොරතුරු ප්‍රවාහයේ 85% ක් අයත්වන්නේ ගෝලීය උපරි සමාජයේ සමාගම් පහකටය.

ලෝකයේ දැවැන්ත වෙළද දැන්වීම් සමාගම් 10 න් 9ක් ම අයත්වන්නේ උතුරු ඇමරිකානු සමාගම්වලටය.

ලෝකයේ වඩාත් ජනප්‍රිය චිත්‍රපට 100 අතරින් 88ක්ම ඇමරිකානු ඒවා වන අතර, ලොවපුරා රටවල් විසින් ආනයනය කරන වැඩසටහන් අතරින් 75%ක් ම ඇමරිකානු ඒවාය.

සංස්කෘතියේ ගෝලියකරණය හරහා නිර්මාණය වී ඇති තවත් ප්‍රවණතාවක්  වන්නේ සියලුම ජාතික.සංස්කෘතීන් වලට ආවේණික වූ ආහාර සංස්කෘතිය, භාෂා භාවිතය, විලාසිතා සංස්කෘතිය,අධ්‍යාපන සංකෘතිය, ජාතික ජාතික චින්තන සංස්කෘතිය යනාදිය තර්ජනයට ලක්වෙමින් පැවතීමය.

සියලු ජාතික සංස්කෘතීන් ඒකාකාර වීම සහ සමජාතීකරණය වීම වර්තමානයේදී ගෝලීය ගැටලුවක් බවට පත්ව තිබේ. අද ලෝක වාසී ජනයා පෘතුවි වැසියෙකු ලෙස හදුන්වන්නේ මේ නිසාය.