My Blog List

Thursday, 30 April 2026

ප්‍රකාශන හිමිකම පිළිබද තොරතුරු



ප්‍රකාශන හිමිකම යනු මුල් නිර්මාණකරුගේ නිර්මාණ කාර්යයක් ප්‍රතිනිර්මාණය කිරීමට හෝ ප්‍රතිනිර්මාණය වැලැක්වීමට මුල් නිර්මාණකරුට ඇති අයිතියක් ලෙස හඳුන්වාදිය හැකිය. මෙය ආර්ථිකය හිමිකම සහ සදාචාරාත්මක හිමිකම ලෙස දෙයාකාර වෙයි. මෙකී ප්‍රකාශන හිමිකම ප්‍රංශ විප්ලවයෙන් පසු ඉස්මතු වූ කර්තෘවරුන්ගේ අයිතිය නම් මානව හිමිකමෙන් පරිණාමය වූවකි. පසු කාලීනව 'ශාස්ත්‍රීය හා කලාත්මක කෘතීන් ආරක්ෂා කිරීමේ බර්න් සම්මුතියේ' දී මෙම 'ප්‍රකාශන හිමිකම' යන පදය මුලින්ම භාවිතා කරන ලදී.  ප්‍රකාශන හිමිකම මගින් ආරක්ෂා කරනුයේ මුල් කෘති පමණක් වන අතර එම කෘතීන් කර්තෘවරයාගේ මහන්සියේ සහ කුසලතාව ප්‍රතිඵලයක් විය යුතු වේ. එනම් බුද්ධිය මෙහෙයවා එම කෘතිය නිර්මාණය කර තිබිය යුතු වේ. 

වර්තමානයේදී ප්‍රකාශන හිමිකම සම්බන්ධව මෙරට අදාල වන නෛතික ප්‍රතිපාදනය වනුයේ 2003 අංක 36 දරන බුද්ධිමය දේපළ පනත වේ. පනතට අනුව ශාස්ත්‍රීය කලාත්මක සහ විද්‍යාත්මක කෘතීන් වන්නාවූ පහත සඳහන් නිර්මාණ ප්‍රකාශන හිමිකම යටතේ ආරක්ෂා වේ.

*  පොත්, පත්‍රිකා, ලිපි, පරිගණක වැඩසටහන් හා වෙනත් ලියැවිලි

*  කතා, දේශනා, ඇමතීම්, අනුශාසනා සහ වෙනත් වාචික කෘති

* නාටකීය/ ගීත නාටකීය කෘති, අභිරූපන නෘත්‍ය විද්‍යාත්මක කෘති හා වේදිකා නිෂ්පාදනය කෘති

* පෙර වගන්තියේ නිශ්චිතව සඳහන් යෝග්‍ය ජනප්‍රවාද ප්‍රකාශන, වේදිකා නිෂ්පාදන හා එවැනි නිෂ්පාදන කෘති

* සංගීතය සමඟ ගයන වචන ඇතුළත් හෝ නොවන සංගීතමය කෘති

* ශ්‍රව්‍ය දෘශ්‍ය කෘති

* ගෘහ නිර්මාණ ශිල්පීය කෘති

* චිත්‍ර, පින්තාරු කිරීම්, මූර්ති, කැටයම්, ලිතෝ මුද්‍රණ, විචිත්‍ර ගෙත්තම් සහ වෙනත් ලලිත කලා කෘති

* ඡායාරූප ශිල්පීය කෘති

* ව්‍යවහාරික කලා කෘති

* භූගෝල විද්‍යාව හා භූ ලක්ෂණ විද්‍යාවේ ගෘහනිර්මාණ ශිල්පීය හෝ විද්‍යාව හා සම්බන්ධ සිතියම් පිඹුරු කටු සටහන් හා ත්‍රිමාන කෘති

ව්‍යුත්පන්න කෘතිය ලෙස සැලකෙන කෘති වල පරිවර්තන, අනුවර්තන, එකලස් කිරීම සහ වෙනත් විපර්යාසයන් ආදියටද ප්‍රකාශන හිමිකමෙහි ආරක්ෂාව ලැබේ.

ඉහත කෘති ප්‍රකාශනය කරන ලද ක්‍රමය හෝ අන්තර්ගතය ගුණාත්මකභාවය නොසලකා හුදෙක් නිර්මාණය කරනු ලැබීමේ කාරණය කරණකොටගෙන ආරක්ෂා වනු ලැබේ. එනම් ප්‍රකාශන හිමිකම ලබා ගැනීම සඳහා ලියාපදිංචි කිරීමක් අවශ්‍ය නොවේ.

පනතේ 8 වැනි වගන්තියෙන් අනාරක්ෂිත කෘති හෙවත් ප්‍රකාශන හිමිකම එහි ආරක්ෂාව නොලැබෙන කෘති වන්නේ,

 * කෘතියක අඩංගු වන අදහසක්, ක්‍රියාවලියක්, ක්‍රියා පිළිවෙලක්,ක්‍රමයක්, සංකල්පයක්, ප්‍රතිපත්තියක් හෝ දත්ත

 * ව්‍යවස්ථාදායක පරිපාලනමය හෝ නීතිමය  වන යම් නිල පාඨ හෝ ඒවායේ නිල පරිවර්තන

* පොදුවේ නිවේදනය කරනු ලබන දෛනික ප්‍රවෘත්ති 

* කෙටි නාම හෝ කෙටි තේමා මුල් නොවූ කෘති හා ආරක්ෂිත කාල පරිච්ඡේදයේ සීමා වූ කෘති

 





 ශ්‍රී ලංකාවට සන්නිවේදන අධ්‍යයනය හදුන්වා දුන්නේ කෙසේද?


මානව සන්නිවේදනය මිනිසාගේ ආරම්භයත් තෙක් දිවෙන ක්‍රියාවලියක් වූවත්, එය න්‍යායාත්මක විෂයක් වශයෙන් අධ්‍යනය කිරීම ආරම්භ වන්නේ විසිවන සියවසේ මුල් භාගයේදී පමණය. වර්ෂ 1947 දී  ඇමරිකාවේ ඉලිනොයිස් විශ්වවිද්‍යාලය  මුල් කර ගනිමින් සන්නිවේදන අධ්‍යනය වෙනුවෙන් පාඨමාලා ආරම්භ කෙරිණි. තවද සන්නිවේදන අධ්‍යනය ආයතන ගත කිරීමට පුරෝගාමීත්වය ලබා දුන් පුද්ගලයා වශයෙන් සන්නිවේදන ඉතිහාසය තුළ හමුවන්නේ මහාචාර්ය විල්බ ශ්‍රාම්ය. පළමු සහ දෙවන ලෝක මහා සංග්‍රාමයන් මෙන්ම කාර්මික විප්ලවය හේතුවෙන් සන්නිවේදන අධ්‍යයන ක්ෂේත්‍රය ක්‍රමානුකූලව වර්ධනය විය. එසේම සන්නිවේදන අධ්‍යනයේ න්‍යායාත්මක පාර්ෂවය පෝෂණය කිරීම සඳහා ඇමරිකානු විද්වතුන් රාශියකගේ මෙන්ම යුරෝපීය විද්වතුන් රාශියගේ සහයෝගය මුල්කාලීනව ඊට හිමි විය. 

තවද සන්නිවේදන අධ්‍යයන ශික්ෂණය කෙරෙහි යොමුවීමට බලපෑ තවත් හේතුවක් බවට පත් වූයේ යුනෙස්කෝ  විසින් 1982 වසරේදී හඳුන්වා දුන් ගෲන්වල්ට්  ප්‍රකාශනයි. මෙම ගෘෘන්වල්ට් ප්‍රකාශනය  යෝජනා කරන ලද්දේ පාසල්  ප්‍රාථමික ශ්‍රේණියේ සිට විශ්ව විද්‍යාල මට්ටම දක්වාත්, වැඩිහිටි අධ්‍යාපනයෙහිදී ද සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය  පිළිබඳ වැඩසටහන් ආරම්භ කරමින් ප්‍රචලිත කළ යුතු බවයි. ගෲන්වල්ට්  ප්‍රකාශනය විසින් නිකුත් කළ මාධ්‍ය අධ්‍යාපනයේ ඇති අවශ්‍යතාවය පිළිබඳ පාඨයෙන් සනාථ වන්නේ එවකට සමාජය තුළ  පුද්ගලයින්ට සුවිශාල බලපෑමක් කිරීමට ජනමාධ්‍ය හේතු වූ බවයි. එබැවින් ඒ සමාජ සන්දර්භය මත පාදක වෙමින් ගෲන්වල්ට් ප්‍රකාශනය  සන්නිවේදනය හා මාධ්‍යයක් අධ්‍යයනය  විශය අධ්‍යනය කිරීමේ අවශ්‍යතාවය පළමු වරට පෙන්වා දුනි. යුරෝපය සහ ඇමරිකාව කේන්ද්‍ර කර ගනිමින් බිහිවන සන්නිවේදන අධ්‍යයන ක්ෂේත්‍රය පසුකාලීනව සමස්ත ලෝකය පුරා ව්‍යාප්ත වෙයි. ඒ අනුව සන්නිවේදන අධ්‍යයන ක්ෂේත්‍රය ශ්‍රී ලංකාවට හඳුන්වා දීම පිළිබඳ අධ්‍යනය කිරීම මෙම ලිපියේ අරමුණයි. 

ශ්‍රී ලංකාවේ සන්නිවේදන ඉතිහාසය ප්‍රාග් යුගයෙන් ආරම්භව රාජාණ්ඩු සමය සහ බටහිර ජාතීන්ගේ කාලය වන විට ඉතා දියුණු වර්ධනයක් අත්පත් කරගෙන පැවතුණි. සෙල්ලිපි රචනා කිරීම, පුස්කොළ පොත් ලිවීම, සංදේශ කාව්‍ය රචනය, ගද්‍ය සහ පද්‍ය ග්‍රන්ථ රචනය, පුවත්පත් මුද්‍රණය, ගුවන්විදුලිය ආරම්භ වීම, රූපවාහිනිය ආරම්භ වීම සහ සිනමාව ආරම්භ වීම ශ්‍රී ලාංකීය සන්නිවේදන ඉතිහාසයේ සුවිශේෂීය සන්ධිස්ථාන වෙයි. 

සන්නිවේදන ක්ෂේත්‍රය ශ්‍රී ලංකාවේ ප්‍රායෝගික මට්ටමින් ක්‍රියාත්මක වූ නමුත් එය විෂයක් වශයෙන් න්‍යායාත්මක ආකාරයෙන් ස්ථාපිත වන්නේ ඊට බොහෝ කාලයකට පසුවය. සන්නිවේදන අධ්‍යනයේ අවශ්‍යතාවය පළමුවරට පෙන්වා දුන් පුද්ගලයා බවට පත් වන්නේ එස්.ඩබ්ලිව්.ආර්.ඩී බණ්ඩාරනායක මහතාය. පුවත්පත් කලාවේදී සහ පුවත්පත් කර්මාන්තයේ ඒකාධිකාරීත්වය අරභයා සිදුකළ කතාවක් තුළින් ඒ බව මනාව පැහැදිලි වෙයි. එසේම ශ්‍රී ලාංකීය විශ්වවිද්‍යාල පද්ධතියට සන්නිවේදන අධ්‍යනය පිළිබඳ උපාධි පාඨමාලා හඳුන්වාදීමට මුල් වූයේ ද එස්. ඩබ්ලිව්.ආර්.ඩී බණ්ඩාරනායක මහතාය.

අනතුරුව ශ්‍රී ලංකාව තුළ ක්‍රමවත් සහ විධිමත් ආකාරයට සන්නිවේදන විෂය පිළිබඳ පාඨමාලාවක් ආරම්භ වන්නේ 1968ත් 1969 අතර කාලවකවානුවේදීය. ඒ දෙහිවල කනිෂ්ඨ විශ්වවිද්‍යාලයේ මූලික වීමෙනි. පුවත්පත් කලාව පිළිබඳ ප්‍රාමාණිකයෙකු වූ ආචාර්යය එඩ්වින් ආරියදාස මහතා විසින් පුවත්පත් කලාවේදය නමින් එම පාඨමාලාව ආරම්භ කරන ලදී. එසේම පුවත්පත් කලාවේදය පාඨමාලාව සඳහා අවශ්‍ය විෂය නිර්දේශය සකස් කරමින් එම පාඨමාලාව ක්‍රියාත්මක කිරීමට  මූලිකත්වය ගන්නා ලදී. එවකට ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ඇමතිවරයාව සිටි අයි.එම්.ආර්.ඒ. ඊරියගොල්ල මහතා මෙම පාඨමාලාව සඳහා මූලික නායකත්වය ලබාදෙමින් ආරියදාස මහතාට සහයෝගය දක්වා ඇත. නමුත් දෙහිවල කණිෂ්ඨ  විශ්වවිද්‍යාලයේ ආරම්භ වන පුවත්පත් කලාවේදය පාඨමාලාව වසර දෙකකින් පසු අවලංගු වී ඇත. 

එසේම 1972 වසරේදී ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට පුවත්පත් කලාව යනුවෙන්  ඩිප්ලෝමා පාඨමාලාවක් ආරම්භ කර ඇති අතර වසරකින් පමණ පසු එම පුවත්පත් පාඨමාලාව ද අසාර්ථක වී ඇත. එය අනුව පෙනී යන්නේ මුල් කාලයේදී සන්නිවේදන අධ්‍යනය වෙනුවෙන් ආරම්භ කළ පාඨමාලාවන් අතරමග නතරවීමට විවිධ හේතූන් බලපා ඇති බවයි. 1960 සහ 1970 දශකවලදී ලෝකයේ සමාජ, ආර්ථික, දේශපාලන ආදී විවිධ ක්ෂේත්‍රවල උද්ගත වූ අර්බුදමය තත්ත්වය  ශ්‍රී ලංකාවේ දේශපාලනය සහ සමාජය තුළ ද මතු විය. එහි බලපෑම මත 1971 කැරැල්ල දේශීය වශයෙන් සිදු වූ ප්‍රධාන ප්‍රබල වෙනසකි. 1972 කැරැල්ල සිදුවීම හේතුවෙන් නැවත ශ්‍රී ලාංකීය සමාජය පිළිබඳ නැවත හැරී බැලීමකට රාජ්‍ය පාලනයට අවස්ථාව උදාවිය. 1971 කැරැල්ල තුළින් සමාජ දරිද්‍රතාව, තරුණ විරැකියාව, විශේෂයෙන්ම උපාධිධාරීන්ගේ විරැකියා ගැටලුව ආදී සමාජ ප්‍රශ්න මතුවිය. එබැවින් එම සමාජ ප්‍රශ්න පිළිබඳ සොයා බැලීමට රජය විසින් ඔස්මන්ඩ් ජයරත්න කමිටුව පත්කළ අතර එහි නිර්දේශයන් වූයේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ පුළුල් සංශෝධන හා වෙනස්කම් සිදුවිය යුතු බවයි. 1971 කැරැල්ලේ බලපෑම සහ ඔස්මන්ඩ්  ජයරත්න කමිටුවේ යෝජනා මත පදනම් වෙමින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් විශ්වවිද්‍යාලවල පවතින සාම්ප්‍රදායික පාඨමාලා වෙනුවට නවාකාරයකින් වෘත්තියා අභිමුඛ පාටමාලා කිරීමට කටයුතු කරන්නේ අනතුරුවය. නවීන ලෝකයට ගැලපෙන ආකාරයෙන් විශ්ව විද්‍යාල පාඨමාලා සකස් කරමින් ලෝකයට අවශ්‍ය වන වෘත්තීයවේදීන් බිහි කිරීමට මෙම ඔස්මන්ඩ් ජයරත්න  කමිටුව මුල්විය. 

1971 කරලින් පසු විශ්වවිද්‍යාල  පද්ධතිය සඳහා නව විෂය පථයන් හඳුන්වා දීමේදී සන්නිවේදන විෂය ද විශ්වවිද්‍යාල  පද්ධතියට හඳුන්වා දී ඇත. මේ සඳහා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පත්කරන ලද කමිටුවේ මහාචාර්ය විමල් දිසානායක, මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර, මහාචාර්ය එම්.බී.ආරියපාල, මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර  වැනි පුද්ගලයින් සාමාජිකයින් බවට පත්විය. ඒ අනුව 1973 වසරේදී කැලණිය විශ්වවිද්‍යාලයේ ජන සන්නිවේදන අධ්‍යනාංශයේ යනුවෙන් නව අංශයක් ප්‍රථම වරට ආරම්භ කරන ලදී. ඒ තුළින් ජන සන්නිවේදනය පිළිබඳ සාමාන්‍ය සහ ගෞරව උපාධි පාඨමාලා ලබාදීම සිදුවිය. කැලණිය විශ්වවිද්‍යාලයේ ජන සන්නිවේදන අධ්‍යාංශයේ සන්නිවේදන විෂය සදහා මුල් කාලයේ අභ්‍යන්තර කථිකාචාර්‍යවරුන් දෙදෙනකු විය.මහාචාර්ය සුනන්ද මහේන්ද්‍රයන් සහ මහාචාර්ය විමල් දිසානායකයන් ඔවුන් වේ. තවද බාහිර කතිකාචාර්‍යවරයන් වශයෙන් මහගමසේකර, අමරදේව ඩී.සී. රණතුංග, ඩී.බී. නිහාල්සිංහ, කේ. ජයතිලක, එඩ්වින් ආරියදාස, පියසිරි ගුණරත්න, පියසෝම මේදිස් යන අය වෙති.

ජාතික අධ්‍යාපන ආයතනයේ මූලිකත්වයෙන් 2006 වසරේ දී 10 වසරට ද,  2007 දී 11 වසරට සහ 2008 වසරේ දී උසස් පෙළ සදහා සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය විෂය පාසල් පද්ධතියට හදුන්වා දී ඇත.

Thursday, 23 April 2026

ෆේස්බුක් නිර්මාතෘ මාර්ක් සකර්බර්ග් 


මාර්ක් සකර්බර්ග් අප කවුරුත් හොඳින් හඳුනන්නේ ෆේස්බුක් නිර්මාතෘවරයා ලෙසය. 1984 මැයි 14 වැනිදා උපන් 36 හැවිරිදි සකර්බර්ග් ඇමෙරිකානු පරිගණක ක්‍රමලේඛකයෙකි. අන්තර්ජාල ව්‍යවසායකයෙකි. ෆේස්බුක් පමණක් නොවෙයි, වර්තමානයේ ජනප්‍රිය සමාජ මාධ්‍ය ලෙස සැලකෙන ඉන්ස්ටග්‍රෑම්, වොට්ස්ඇප් පමණක් නොව අපට වැඩිය හුරුපුරුදු නැති ඔකලස් සමාගමේ ද හිමිකාරීත්වය ඇත්තේ ෆේස්බුක් සතුවය.

2011 වර්ෂය වෙද්දි සකර්බර්ග්ගේ මුළු වත්කම ඇමරිකානු  ඩොලර්  බිලියන 13.5ක් ලෙස තක්සේරු කරනු ලබනවා. ඔබට අද නැතුවම බැරි ‘ෆේස්බුක්’, එහෙම නැත්තම් ‘මුහුණු පොත’, ‘නිල්පාටින්ම ඇයි?’ කියලා දන්නවද? ඒකට හේතුව මාර්ක් සකර්බර්ග් වර්ණ අන්ධතාවයෙන් පෙළෙන්නෙක්. ඔහුට රතු සහ කොළ කියන වර්ණ හොඳින් පෙනෙන්නෙ නැහැ.නිල් පාට විතරයි හොදින් පෙනෙන්නේ .ඒ නිසයි මුහුණු  පොත⁣ට නිල්පාටම යොදාගන්නේ.

සකර්බර්ග්ගේ පියා දන්ත වෛද්‍යවරයෙක් වන අතර මව මනෝචිකිත්සකවරියක්. ඔහුට සොහොයුරියන් තිදෙනෙකු සිටිනවා. ඒ වගේම තමයි ෆේස්බුක් නිර්මාතෘවරයා යුදෙව් ජාතිකයෙක්. වසර 2011 දී ඔහු යුදෙව් ජාතිකයින් අතරින් ප්‍රබලතම පුද්ගලයා බවට නම් කරනු ලබනවා. සකර්බර්ග් 2012 දී විවාහ වෙන්නේ ඔහුගේ දිගුකාලීන පෙම්වතිය වූ ප්‍රිෂිලා චෑන් සමඟයි. මේ වන විට ඔහු දියණියන් දෙදෙනෙකුගේ පියෙක්. මොහුගේ වයස අවුරුදු  36ක් වෙනවා.

මුලදී මාර්ක් සහ ඔහුගේ මිතුරන්ට අවශ්‍ය වන්නේ Dating Site එකක් නිර්මාණය කිරීමටයි. පසුව එය නවත්වා Facebook වෙබ් අඩවිය නිර්මාණය කරනවා. 2004 ජුනි මස ඔහුගේ මිතුරන් වන Dustin Moskovitz, Chris Hughes සහ Eduardo Saverin Facebook වෙබ් අඩවියේ ගිණුම් සාදා ගන්නවා. ඔහුගේ පූර්ණ කැප වීම සාර්ථක වෙමින් 2004 වසර අවසාන වන විට Facebook වෙබ් අඩවිය භාවිතා කරන්නන්ගේ ප්‍රමාණය මිලියන 1 දක්වා ඉහල යනවා.


Monday, 20 April 2026

 සමීක්ෂණ ආචාරධර්ම 


සමීක්ෂණ යනු යම් විෂය කරුණක්, ජනතාවගේ අදහස්, හැසිරීම් හෝ තත්ත්වයන් පිළිබඳව ක්‍රමවත් ලෙස දත්ත රැස්කර විශ්ලේෂණය කිරීමේ විද්‍යාත්මක ක්‍රියාවලියකි. සාමාන්‍යයෙන් ඔක්ස්ෆර්ඩ් ශබ්ද කෝෂයට අනුව මෙය මහජන මතය විමර්ශනය කිරීම ලෙස අර්ථ දැක්වේ. එමෙන්ම  ඔක්ස්ෆර්ඩ් ශබ්දකෝෂය සමීක්ෂණ යන්න අර්ථ දක්වා ඇත්තේ පහත පරිදිය."සමීක්ෂණ යනු සාමාන්‍ය ජනතාවගේ අදහස් හා හැසිරීම් පිළිබඳ විමර්ශනය කිරීමයි."

ආචාරධර්ම යනු මානව හැසිරීම් වල හරි-වැරැද්ද, හොඳ-නරක, සහ යුතුකම් පිළිබඳව හැදෑරෙන, සමාජීය වශයෙන් පිළිගත් චර්යාත්මක නීති මාලාවකි. පුද්ගලයාගේ හික්මීම විධිමත් කරමින්, සමාජ පැවැත්ම ශක්තිමත් සහ සුරක්ෂිත කිරීමේ අරමුණින් සත්‍යය, සාධාරණත්වය සහ අවිහිංසාව පදනම් කරගෙන ගොඩනැගෙන ප්‍රායෝගික දර්ශනයක් ලෙස මෙය හැඳින්විය හැකිය. එමෙන්ම මෙම ආචාරධර්මයන් සමීක්ෂණ සම්බන්ධ‍යෙන්ද පවතී.එනම් සමීක්ෂකයෙකු කිසියම් සමීක්ෂණයක් සිදු කිරීමෙදී ආචාරධර්මයන් අනුගමනය කිරීම අත්‍යවශ්‍ය වේ. ඒ අනුව සමීක්ෂණ සම්බන්ධ‍යෙන් පිළිපැදිය යුතු ආචාරධර්ම පහත ආකාරයට පෙන්වා දිය හැකිය.

සමීක්ෂණ  ආචාරධර්ම 

*සමීක්ෂණයේ ගුණාත්මක භාවය හා ප්‍රමිතිය ආරක්‍ෂා ආරක්ෂා කර ගැනීම.

*නිවැරදි සමීක්ෂණ ක්‍රමවේද භාවිතය

*දත්ත හිතාමතා විකෘති නොකිරීම
.
*දත්ත දායකයා හා සමීක්ෂකයා අතර විශ්වසනීයත්වයක් ගොඩනඟා ගැනීම.

*දත්ත දායකයාගේ කැමැත්ත මත පමණක් සමීක්ෂණය සඳහා සහභාගි කර ගැනීම.

*සමීක්ෂකයා පිළිබඳ හා පර්යේෂණයේ මූලික අරමුණු පිළිබඳ දත්ත දායකයා දැනුවත් කිරීම.

*දත්ත දායකයාට නිදහසේ අදහස් ප්‍රකාශ කිරීමට අවස්ථාව ලබා දීම.

*දත්ත දායකයාගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීම.

*දත්ත දායකයා කායික හෝ මානසික පීඩනයට ලක් නොකිරීම.

*බුද්ධිමය දේපළ අයුතු ලෙස භාවිත නොකිරීම.

*දත්ත ලබාදීම පිළිබඳ දත්ත දායකයා අගය කිරීම.

1.බුද්ධිමය දේපළ අයුතු ලෙස භාවිත නොකිරීම
.
වෙනත් කර්තෘවරයෙක්ගේ ග්‍රන්ථයක්,ලේඛනයක් අවසරයකින් තොරව ලබාගෙන එය තමාගේ ග්‍රන්ථයක්,ලිපියක් ලෙස ඉදිරිපත් කිරීම පර්යේෂකයකු විසින් සිදු කරනු ලබන ආචාර ධර්ම කඩ කිරීමකි.ඇතැම් අවස්ථාවලදී ප්‍රසිද්ධ පුද්ගලයන් පවා අන් අයගේ ග්‍රන්ථයන් ඔවුන්ගේ මරණින් පසු තමාගේ නම යොදා ප්‍රසිද්ධියට පත්කළ අවස්ථාවන්ද ඇති අතර එවැනි තත්ත්වයකදී නීතිමය පිහිට පැතීම දක්වා වර්ධනය වන අවස්ථා සමාජය තුළ බහුලව දක්නට ලැබේ.එසේ බුද්ධිමය දේපළ අයථා ලෙස භාවිත කිරීමෙන් ලක්‍ෂ පහක් නොඉක්මවූ දඩයක් හා මාස හයක් නොඉක්මවූ සිරදඬුවම් යනාදිය මේ සඳහා ගනු ලබන ක්‍රියා මාර්ග වේ.

2.දත්ත දායකයාගේ ආරක්ෂාව තහවුරු කිරීම,දත්ත දායකයාගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීම.
ප්‍රතිචාරකයාගේ රහස්‍ය භාවය ආරක්ෂා කරමින් ඔවුන්ගේ ප්‍රතිරූපයට හානි නොවන ආකාරයට ඉදිරිපත් කිරීම සිදු නොවුනහොත් එය ප්‍රබල ලෙස පර්යේෂකයෙකු විසින් සිදු කරනු ලබන ආචාර ධර්ම කඩ කිරීමකි.මෙහිදී පර්යේෂණයට අදාල නොවන ඔවුන්ගේ පුද්ගලික කාරණා පිළිබඳ විමසීම හෝ විමසා ලබාගත් පුද්ගලික කරුණු නම්, ගම් සහිතව ඉදිරිපත් කිරීම ආචාර ධර්මයන්ට පටහැනිය.ඔවුන් පර්යේෂකයා සමග පවතින සමීපත්වය නිසා එය පැහැදිලි කළ ද එහි රහස්‍යභාවය ආරක්ෂා කිරීම පර්යේෂකයාගෙන් ඉටුවිය යුතු ප්‍රධාන වගකීමකි.එසේ නොවුනහොත් අදාල ප්‍රතිචාරකයාව නැවත සමාජගත වීමේ ප්‍රශ්නයක් ඇති විය හැකිය.

3.හිතා මතා දත්ත විකෘති නොකිරීම
පර්යේෂණයක ආචාරධර්ම පිළිබඳ සැලකීමේදී බොහෝ විට කඩවීමට ලක්වන ආචාර ධර්මයක් ලෙස මෙය දැක්විය හැකිය.ආචාර ධර්ම කඩවීම සාධාරණීය කරණය කළනොහැක්කකි.එබැවින් ලබාගත් දත්ත යනු පර්යේෂකයෙකු සිදු කරන වැදගත්ම කොටසයි.යම් පර්යේෂකයකුට ලබාගත් දත්ත තම අරමුණු සාක්ෂාත් වන ආකාරයට හෝ පර්යේෂණයේදී සිදුවූ අඩුපාඩු මඟහරවා ගැනීම හෝ වෙනුවෙන් වෙනස් කිරීම තම හෘද සාක්ෂියටද පර්යේෂකයන්ටද අදාළ විෂය ක්ෂේත්‍රයටද කරනු ලබන දැඩි අසාධාරණයකි.

4.පක්ෂපාතීත්වයෙන් තොරවීම
පර්යේෂණයේ ප්‍රතිඵල වාර්තා කිරීමේදී පර්යේෂකයා උපරිම අවංක භාවයකින් කටයුතු කළ යුතුය.එනම් ලැබෙන දත්ත තමාට අවශ්‍ය පරිදි වෙනස් කිරීම හෝ ව්‍යාජ දත් ඇතුළු කිරීම බරපතළ ආචාර ධර්මීය වරදක් බැවින් තම පෞද්ගලික මතවාදයන්ට වඩා ලැබුණු සැබෑ දත්ත වලට මුල් තැන ලබාදීම මෙහිදී වැදගත් වේ.උදාහරණයක ලෙස වෙළද දැන්වීම් පිළිබදව සමීක්ෂණයක් සිදු කිරීමේදී, වෙළඳ දැන්වීම් ප්‍රවර්ධනය කරන ආයතන වලට හෝ එම පාර්ශ්වයන්ට පක්ෂක්ග්‍රාහී නොවී ස්වාධීනව කටයුතු කිරීමට පර්යේෂකයා උත්සාහ කළයුතුය.

 








Monday, 13 April 2026

සන්නිවේදනයේ පුරෝගාමී මහාචාර්යය විල්බර් ශ්‍රාම්


ජර්මනියේ උපත ලද විල්බර් ශ්‍රාම් නුතන සන්නිවේදනයේ පියා ලෙස ඉමහත් ආඩම්බරයෙන් සලකනු ලැබේ.ඔහු විසින් සන්නිවේදනය පිළිබඳ පළ කරන ලද නිර්වචනය සන්නිවේදනයේ සමස්ත හරය ගොනු වූ විශිෂ්ට නිර්වචනයක් ලෙස හැඳින්විය හැක.එනම්,තොරතුරු ගැබ් වූ සංඥාවක් නිසා දෙපාර්ශයක් අතර එක හා සමාන මානසික තත්ත්වයක් ඇති කරලීම සන්නිවේදනයයි''යනු එම නිර්වචනයයි.

මෙම නිර්වචනය පිළිබදව පැහැදිළි කිරීමක් කිරීමේ දී ශ්‍රාම් මෙහි''දෙපාර්ශවයක්''යනුවෙන් හදුන්වන්නේ''සන්නිවේකයා'' හා ''ග්‍රාහකයායි'' එක් පාර්ශ්වයක සන්නිවේදකයා සිටින අතර''තොරතුරු'' ගැබ් වූ සංඥාව යනු සංදේශයයි. මෙම තොරතුරු ගැබ්ව ඇත්තේ සංඥාව තුළය. එම ''සංඥාව'' දෙපාර්ශ්වය අතර හුවමාරු වන බව ශ්‍රාම් විස්තර කරයි. එසේම විල්බර් ශ්‍රාම් තම නිර්වචනයේ ද ඵලය හෙවත් බලපෑම පිළිබදව ද අවධානය යොමු කරයි. එනම් ''සමාන මානසිකත්වයක් ඇතිකරලීමයි''

සන්නිවේදනය දෙස සියලු අංශ නියෝජනය වන අයුරින් විමර්ශනයට ලක් කොට ඇති මොහු සන්නිවේදනය විධිමත් අඩිතාලමක් කරා ගෙන ඒමට පුරෝගාමී වූ දාර්ශනිකයෙන් ලෙස පෙන්වා දිය හැක.

තව ද සන්නිවේදන අධ්‍යයනය විධිමත් ලෙස ආයතනගත කිරීමට මෙන්ම සන්නිවේදන විෂයෙහි ප්‍රමුඛ දායකත්වයක් සපයන ලද පුද්ගලයා වන්නේ මහාචාර්ය විල්බර් ශ්‍රාම්ය. ඔහු විසින් සන්නිවේදන අධ්‍යයනය විධිමත් ආකාරයට අධ්‍යයනය කිරීමට අවශ්‍ය පදනම සකස් කරනු ලබීය.සන්නිවේදන අධ්‍යයන ක්ෂේත්‍රයෙහි විවිධ අංශ කෙරෙහි අවධානය යොමු කළ ශ්‍රාම් පර්යේෂකයකු ලෙස ද න්‍යායවාදියකු ලෙස ද විෂය පෝෂණය කරන ලදි. සන්නිවේදන විෂය දෙස නව දෘෂ්ටිකෝණයකින් බැලීමට අවශ්‍යය පරිසරය ඔහු විසින් ගොඩ නගන ලද්දේ යැයි සඳහන් කළ හැකිය.

විල්බර් ශ්‍රාම් විසින් 1948 දී ඉලිනෝයි විශ්ව විද්‍යාලයෙහි "සන්නිවේදන පර්යේෂණ ආයතනය" නම් ආයතනය පිහි‍ටුවනු ලැබීය. ඔහු එම ආයතනයේ අධ්‍යක්‍ෂක වරයා ද විය.1947 සිට 1955 දක්වා ඉලිනෝයි විශ්ව විද්‍යාලයෙහි සන්නිවේදන අධ්‍යයනය පිළිබඳ  මහාචාර්ය වරයකු ලෙස ද ඔහු කටයුතු කළ  අතර ඉන් පසුව 1955 දී ස්ටැන්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ ද ඉහත ආකාරයේම පර්යේෂණ ආයතනයක් පිහි‍ටුවීමට ශ්‍රාම් කටයුතු කරන ලදි. 1955 සිට ස්ටැන්ෆර්ඩ් පර්යේෂණ ආයතනයේ අධ්‍යයක්ෂක ලෙස කටයුතු කළ අතරම ජාත්‍යන්තර සන්නිවේදනය පිළිබඳ මහාචාර්යයවරයා ලෙස ද කටයුතු කරන ලදි. තුන්වන ලෝකයේ රටවල සංවර්ධනයට සන්නිවේදනය දායක කර ගත හැකි බව තේරුම් ගත් මුල්ම පුද්ගලයා වන්නේ ද ශ්‍රාම්ය. 1964 දී විල්බර් ශ්‍රාම් හා ඩැනියල් ලර්නර් හවායි නුවර දී“Communication and Change in the Developing Countries” නමින් විශාල සම්මන්ත්‍රණයක් සංවිධානය කළ අතර ඒ නමින් පොතක් ද නිකුත් කරන ලදි. එහි දී ශ්‍රාම් 1900 අවසාන දශකය වන විට විධිමත් ලෙස පාඨමාලාගතව සන්නිවේදන අධ්‍යයනය විශ්වවිද්‍යාල තුළ අධ්‍යයනය කිරීම මුළු ලොව පුරා විසිරී යන ලදි.1970 දශකයෙන් පසුව සන්නිවේදන අධ්‍යයනය විෂය කෙරෙහි ප්‍රමුඛතාවක් යුරෝපීය විශ්වවිද්‍යාල ලබා දෙන ලදි 

 ජන මාධ්‍ය වර්ගීකරණය


ජන මාධ්‍ය වර්ගීකරණය විවිධාකාරය.මුද්‍රිත මාධ්‍ය සහ විද්‍යුත් මාධ්‍ය ලෙසයි. මුද්‍රිත මාධ්‍ය ලෙස පුවත්පත් සහ සගරා හදුනා ගත හැකි අතර විද්‍යුත් මාධ්‍ය ලෙස ගුවන්විදුලිය සහ රූපවාහිනිය හදුනා ගත හැකිය.තාක්ෂණයට අනුව ඩිජිටල් මාධ්‍යයේ ආගමනයෙන් ජනමාධ්‍ය තවත් ආකාරයකට වර්ග කෙරේ.

ජනමාධ්‍ය පිළිබදව හැදින්වීමේ දී ජනමාධ්‍ය සදහා නිර්වචන ගණනාවක් ඉදිරිපත් වී ඇත.

■ ජනසන්නිවේදනය සාර්ථක කර ගැනීම සඳහා කාලය හෝ දුර අතර පණිවිඩ හුවමාරු කර ගැනීමට යොදනු ලබන උපාංග ජනමාධ්‍ය යි.

■ නූතන සමාජයේ පවතින ප්‍රධාන ජනමාධ්‍ය ලෙස පොත්, සඟරා, පුවත්පත්, ගුවන්විදුලිය හා රූපවාහිනිය හඳුනා ගත හැකි බව ඩිෆ්ලුවර් හා ඩෙනිස්‘ජන සන්නිවේදන අවබෝධය’කෘතියේ දක්වා ඇත.

■ ඔක්ස්ෆර්ඩ් ශබ්දකෝෂයට අනුව, “අදෘශ්‍යමාන ව වෙසෙන පිරිසකට කිසියම් මාධ්‍යයකින් අමතන්නේ නම් එය ජනමාධ්‍ය වේ”

■“ජනමාධ්‍ය ලෙස අර්ථකථනය කරන්නේ පුළුල් ප්‍රදේශයක විසිරී පවතින බහුවිධ, අදෘශ්‍ය ග්‍රාහක කොට්ඨාසයකට ආමන්ත්‍රණය කරනු ලබන මාධ්‍ය වේ.”

ජනමාධ්‍ය සතු ලක්ෂණ 

ආයතනික ස්වරූපය:

 ජන මාධ්‍ය යනු හුදෙක් පුද්ගලයෙකු විසින් කරනු ලබන කාර්යයක් නොවේ. එය පුවත්පත් ආයතන, රූපවාහිනී නාලිකා වැනි සංවිධානාත්මක ආයතන හරහා සිදුවන ක්‍රියාවලියකි.

​ප්‍රතිපෝෂණය (Feedback) ප්‍රමුඛ නොවීම:

 මුහුණට මුහුණලා සිදුකරන සන්නිවේදනයේදී මෙන් ක්ෂණික ප්‍රතිපෝෂණයක් මෙහිදී බලාපොරොත්තු විය නොහැක. නූතන සමාජ මාධ්‍ය නිසා මෙය යම් තරමකට වෙනස් වී ඇතත්, සාම්ප්‍රදායික ජන මාධ්‍ය තුළ ප්‍රතිපෝෂණය ප්‍රමාද වී හෝ වක්‍රව ලැබේ.

​පණිවිඩයේ පොදු බව:

 ජන මාධ්‍ය මගින් ලබාදෙන තොරතුරු පුද්ගලික ඒවා නොවන අතර, ඒවා පොදු ජනතාවගේ පරිභෝජනය සඳහා සකස් කරන ලද දෑ වෙයි.

​තාක්ෂණික භාවිතය: 

මුද්‍රණ යන්ත්‍ර, විකාශන උපකරණ, චන්ද්‍රිකා තාක්ෂණය හෝ අන්තර්ජාලය වැනි දියුණු තාක්ෂණික මෙවලම් භාවිතයෙන් තොරව ජන සන්නිවේදනයක් සිදු කළ නොහැක.

​දොරටු පාලක (Gatekeeping) ක්‍රියාවලිය: 

මාධ්‍ය ආයතනයක් තුළ ප්‍රවෘත්ති සංස්කාරකවරුන් වැනි නිලධාරීන් විසින් මහජනයා වෙත යා යුතු තොරතුරු මොනවාද යන්න තෝරා බේරා ගැනීම සිදු කරයි.

ජන මාධ්‍ය සතු ප්‍රධාන කාර්යභාරයන් 

ජන මාධ්‍ය යනු සමාජයක පැවැත්ම සහ වර්ධනය සඳහා අත්‍යවශ්‍ය සාධකයකි. ප්‍රමුඛ පෙළේ සන්නිවේදන විද්‍යාඥයකු වූ හැරල්ඩ් ලැස්වෙල් සහ චාල්ස් රයිට් වැනි විද්වතුන් පෙන්වා දුන් පරිදි ජන මාධ්‍ය සතු ප්‍රධාන කාර්යභාරයන් කිහිපයක් පහත පරිදි විස්තර කළ හැකිය.

​1. සුපරීක්ෂණය (Surveillance)

​සුපරීක්ෂණය යනු සමාජයේ සහ ලෝකයේ සිදුවන දෑ පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ කාර්යයයි. මෙහිදී මාධ්‍ය "සමාජයේ මුරබල්ලා" (Watchdog) ලෙස ක්‍රියා කරයි. ස්වාභාවික විපත්, යුද්ධ, ආර්ථික වෙනස්කම් හෝ දේශපාලන තීරණ පිළිබඳව තොරතුරු කඩිනමින් ජනතාව වෙත ලබා දීම මෙයට අයත් වේ. මෙය කොටස් දෙකකට බෙදිය හැකිය:

​අනතුරු හැඟවීමේ සුපරීක්ෂණය: සුළි සුළං හෝ වසංගත වැනි ආසන්න අනතුරක් පිළිබඳව දැනුම් දීම.

​උපකාරක සුපරීක්ෂණය: කොටස් වෙළඳපොළ තොරතුරු, කාලගුණ වාර්තා හෝ එදිනෙදා ජීවිතයට වැදගත් වන ප්‍රවෘත්ති ලබා දීම.

​2. අර්ථකථනය (Interpretation)

​හුදු තොරතුරු වාර්තා කිරීමට එහා ගොස්, එම තොරතුරුවල අර්ථය සහ බලපෑම විග්‍රහ කිරීම මෙහිදී සිදු කෙරේ. මාධ්‍ය මගින් පුවත් විශ්ලේෂණය කිරීම, කතුවැකි ලිවීම සහ විද්වත් සාකච්ඡා පැවැත්වීම හරහා සංකීර්ණ සිදුවීමක් සාමාන්‍ය ජනතාවට තේරුම් ගත හැකි අයුරින් සකස් කර දෙයි. මෙමගින් කිසියම් සිදුවීමක් කෙරෙහි මහජන මතය හැඩගැස්වීම සහ සිදුවීම් අතර ඇති සබඳතාවය පැහැදිලි කිරීම සිදු වේ.

​3. සහසම්බන්ධය (Correlation)

​සමාජයේ විවිධ කොටස් හෝ ආයතන එකිනෙක සම්බන්ධ කිරීම සහසම්බන්ධය ලෙස හැඳින්වේ. යම් පොදු අරමුණක් හෝ ගැටලුවක් වෙනුවෙන් ජනතාව ඒකරාශී කිරීමට මාධ්‍ය මෙහිදී කටයුතු කරයි. උදාහරණයක් ලෙස, ජාතික ආපදාවකදී ආධාර එකතු කිරීම සඳහා මාධ්‍ය මගින් ජනතාව දිරිමත් කිරීම හෝ රජයේ ප්‍රතිපත්තිවලට ජනතා ප්‍රතිචාර එක්තැන් කිරීම දැක්විය හැකිය. මෙය සමාජ ඒකාබද්ධතාවය පවත්වා ගැනීමට ඉවහල් වන කාර්යයකි.

​4. සමාජානුයෝජනය (Socialization / Cultural Transmission)

​මෙය මාධ්‍ය සතු අධ්‍යාපනික සහ සංස්කෘතික කාර්යයකි. සමාජයක පවතින සාරධර්ම, සම්ප්‍රදායන්, නීති රීති සහ සංස්කෘතික අනන්‍යතාවයන් පරපුරෙන් පරපුරට දායාද කිරීමට මාධ්‍ය දායක වේ. විශේෂයෙන්ම ළමයින් සහ තරුණ පිරිස සමාජයේ පිළිගත් චර්යා රටාවන්ට අනුගත කිරීමේදී (සමාජානුයෝජනය) රූපවාහිනිය, පුවත්පත් සහ අන්තර්ජාලය ප්‍රබල බලපෑමක් කරයි. මාධ්‍ය හරහා ඉදිරිපත් කෙරෙන ආදර්ශවත් චරිත සහ වැඩසටහන් මගින් පුද්ගල පෞරුෂය හැඩගැස්වීම මෙහිදී සිදු වේ.