My Blog List

Saturday, 24 January 2026

 ජන සන්නිවේදනය යනු



සන්නිවේදන වර්ග අතුරින් එක් සන්නිවේදන වර්ගයක් ලෙස ජන සන්නිවේදනය හැදින්විය හැකිය.මෙම ජන සන්නිවේදනය යනු කුමක්ද යන්න පිළිබද පහත පරිදි පෙන්වා දිය හැකිය.

* වෘත්තීය සන්නිවේදකයන් යාන්ත්‍රික මාධ්‍ය වහල් කොට ගෙන පුළුල් ලෙසත් ක්ෂණිකවත් අඛණ්ඩවත් විශාල වූත් විවිධ වූත් ග්‍රාහක ක්ෂේත්‍රයන් වෙත සන්දේශය පතුරවමින් යම් බලපෑමක් ඇති කිරීමේ ක්‍රියාවලිය යි.

* අතිවිශාල ජන පිරිසක් එකවර ඉලක්ක කර ගනිමින් තොරතුරු බෙදා දෙයි. සන්දේශය පොදු ය. අන්තර්ගතය සැමට විවෘත වේ. ග්‍රාහක පිරිස විෂම ජාතීය පිරිසක් වේ. එමෙන් ම ජන සන්නිවේදනයේ ග්‍රාහක පිරිස සමාජයක සාමූහික ව විශේෂිත වූ පිරිසකි.

* සමාන්‍යයයෙන් සංකීර්ණ විධිමත් ආයතනික රටාවක් දක්නට ලැබේ. ජන සන්නිවේදන ක්‍රියාවලිය එක් තැනකින් ආරම්භ වී ගොස් ප්‍රතිපෝෂණය ලෙස ආපසු හැරී එන ආකාරය මෙමඟින් විග්‍රහ කෙරේ.

ජනසන්නිවේදනයේ ලක්ෂණ

* අතිවිශාල ජන පිරිසක් එකවර ඉලක්ක කර ගනිමින් තොරතුරු බෙදා දෙයි. 

* සන්දේශය පොදු ය. 

* සෑම විටම ජනමාධ්‍ය භාවිතා කරයි

* පුහුණු ශිල්පීන් සිටී

* බහුවිධ දොරටුපාලකයන් දැකගත හැකිය

* සංවිධානාත්මක ආයතනික රටාවක් ඇත

* අන්තර්ගතය සැමට විවෘත වේ. 

* ග්‍රාහක පිරිස විෂම ජාතීය පිරිසක් වේ. 

* එමෙන් ම ජන සන්නිවේදනයේ ග්‍රාහක පිරිස සමාජයක සාමූහික ව විශේෂිත වූ පිරිසකි. 

* සමාන්‍යයයෙන් සංකීර්ණ විධිමත් ආයතනික රටාවක් දක්නට ලැබේ. 

* ජන සන්නිවේදනය සංකීර්ණ ක්‍රියාවලියකි. 

* විවිධ ජන සන්නිවේදන ආකෘති මඟින් මෙම ක්‍රියාවලිය සරල ව පැහැදිලි කර ගත හැකි වේ.




Tuesday, 20 January 2026

 සන්නිවේදනය පිළිබඳ නිර්වචන


සන්නිවේදනය පිළිබඳ ව මූලික අවබෝධයක් ලැබීමට ඒ සම්බන්ධයෙන් ඉදිරිපත් වී ඇති නිර්වචන ඉතා ප්‍රයෝජනවත් ය. විවිධ විදව්තනු  හා ආයතනකි සංවිධාන මගින් ඉදිරිපත් කර ඇති සන්නිවේදනය පිළිබඳ නිර්වචන අතර සාම්‍යයක් දක්නට නොලැබුණ ද ඒවා මඟින් ඉදිරිපත් කෙරෙන මූලික සාදක පිළිබඳ ව අවධානය යොමු කිරීමෙන් සන්නිවේදනය සම්බන්ධයෙන් වඩාත් අර්ථවත් විවරණයක් සපයා ගත හැකි වේ.

* සන්නිවේදනය පිළිබඳ හැරල්ඩ් ඩී. ලැස්වෙල්ගේ නිර්වචනය (1948)

 “යම් කිසිවෙකු, යම් කිසිවක්, කිසියම් නාලිකාවකින් යම් කිසිවෙකුට කිසියම් බලපෑමක් කිරීම සඳහා ප්‍රකාශ කරනු ලබන දෙය සන්නිවේදනය යි.”

මෙහිදී ලැස්වෙල් විසින් දේශපාලනික ප්‍රවේශයකින් නිර්වචනය ඉදිරිපත් කරනු ලබයි.බලපෑම යනු දේශපාලනිකව සාකච්ඡා කෙරෙන ප්‍රබල ලක්ෂණයකි.එය සන්නිවේදනයේ අග්‍රඵලය ලෙස මෙම නිර්වචනයේ දී දක්වා ඇත. 

* සන්නිවේදනය පිළිබඳ ශැනොන් සහ වීවර්ගේ නිර්වචනය (1949)  

 “සන්නිවේදනය යනු යම් තැනක දී නිර්මාණය කර ගත් හෝ තෝරාගත් පණිවිඩයක් ඒ ආකාරයෙන් ම හෝ ඊට සමාන ලෙස වෙනත් තැනක දී ප්‍රතිනිර්මාණය කිරීමයි”

මොවුන් සන්නිවේදනය පිළිබද හෙලන දෘෂ්ටිය ද තාක්ෂණික ස්වරූපයක් ගන්නා බව දක්නට ලැබේ.නමුත් මොවුන් සන්නිවේදන මූලිකාංග පිළිබඳව ද අවධානය යොමු කර ඇති බව දක්නට ලැබේ.

* සන්නිවේදනය පිළිබඳ විල්බර් ශ්‍රාම්ගේ නිර්වචනය (1954) 

“තොරතුරු ගැබ් වූ සංඥාවක් කරණ කොට ගෙන දෙපාර්ශ්වයක් අතර එක හා සමාන චිත්ත ස්වභාවයක් ඇති වීම සන්නිවේදනය යි”

සන්නිවේදනයෙහි යෙදෙන පුද්ගලයන් අතර සමාජ පසුබිම, අත්දැකීම් පසුතලය සම තත්වයක පවතී නම් එකී කාර්ය වඩාත් පහසු වන බව ශ්‍රාම්ගේ නිර්වචනයෙන් පැහැදිලි වේ. මෙබඳු සමාජ තත්වයක් නොතිබුණ ද සන්නිවේදනයෙහි යෙදීමට බාධාවක් නැත. එහෙත් ඉදිරිපත් කරන සංදේශයෙහි අරුත නිසි පරිදි වටහා ගැනීමට ඇති බාධාව මේ නිසා උද්ගත වේ. එබැවින් ගැඹුරු සන්නිවේදන ක්‍රියාවලයකදී දෙපක්ෂය අතර සමානත්වයක් තිබීම වඩාත් ප්‍රතිඵලදායක ය.

* සන්නිවේදනය පිළිබඳ එඩ්වඩ් සැෆීර්

''සමාජය යනු අනෙකක් නොව සන්නිවේදනය හේතු කොටගෙන සන්නිවේදනය තුළින් පවත්වාගෙන යනු ලබන සබදතා ජාලයයි. පුද්ගල චර්යාවට අදාළ සෑම සංස්කෘතික රටාවක්ම සහ චර්යාවට අදාළ සෑම ක්‍රියාවක්ම කෙලින්ම හෝ වක්‍රව සන්නවේදනයටසම්බන්ධයක් ඇත.''

සමාජ විද්‍යාඥයෙක් වන සැපීර් මෙම නිර්වචනය සන්නිවේදනය පිළිබඳ ඉදිරිපත් කළ එකක් නොවේ. සමාජය පිළිබඳව ඉදිරිපත් කර ඇති අතර, සමාජය හා සන්නිවේදනය අතර ඇති අවියෝජනීය සම්බන්ධතාව නිසාම මෙය සන්නිවේදනය පිළිබඳව කරන ලද නිර්වචනයක් සේ දිස්වේ.

* සන්නිවේදනය පිළිබඳ චාල්ස් එච්. කූලිගෙ නිර්වචනය

“මානව සම්බන්ධතා රඳවා සිටින්නා වූත්, වර්ධනය කරන්නා වූත්, සියලු සංකේත මෙන් ම, ඒවා දේශයෙන් දේශයට ප්‍රවාහනය කිරීමටත්, කාලයේ බැඳුම්වලින් ඔබ්බට ගොස් සුරක්ෂිත කර ගැනීමටත් උපකාරී වන උපක්‍රම සන්නිවේදනය යි.”

* ඔක්ස්ෆර්ඩ් ශබ්දකෝෂයේ නිර්වචනය

“අදහස, දැනුම යනාදිය භාෂණය හෝ ලේඛනය හෝ සංඥා මඟින් ප්‍රදානය කිරීම, ප්‍රකාශ කිරීම හෝ හුවමාරු කර ගැනීම සන්නිවේදනය යි.









ලංකාවේ පුවත්පත් කලාව  

ලාංකේය ලේඛන ඉතිහාසය පිළිබඳව විග්‍රහ කිරීමේදී එය අදියර කිහිපයක් යටතේ සාකච්ඡා කළ හැකිය. මුල් අදියර ක්‍රි.ව. 1800 – 1860 දක්වා දැක්වීමට හැකිය. ඉංග්‍රීසි පාලන කාලයේදී ප්‍රථම වාරික ප්‍රකාශනයක් ලෙස “ලංකාණ්ඩු ගැසට් පත්‍රය” (Ceylon Government Gazette) ආරම්භ විය. ඒ 1802 මාර්තු වලදීය. ආණ්ඩුවේ නිල නිවේදන, පරිපාලන තොරතුරු දැන ගැනීමට පළකරන ලද්දක් වුවද එහි ගද්‍යපද්‍ය කොටස් පළවී තිබිණි. ලංකාවේ පළ වූ පළමු පුවත්පත ලෙස සැලකෙන්නේ ‘ද කලම්බු ජර්නර්ල් (THE COLOMBOJOURNAL) පුවත්පතයි.1832 ඇරඹුණු මෙය එවකට සිවිල් සේවකයකු වූ ‘ජෝර්ජ් ලී’ විසින් සංස්කරණය කරන ලද්දකි.

එබඳු තවත් පුවත්පතක් වූයේ 1834 දී ආරම්භ කෙරුණු ඔබ්සර්වර් ඇන්ඩ් කොමර්ෂල් ඇඩ්වර්ටයිසර් (THE OBSERVER ANDCOMMERCAIL ADVERTISER) පුවත්පතයි. මේ කාලය තුළදී පළවූ පුවත්පත් ආදියෙන් ආගමික අධ්‍යාපනික කරුණු ප්‍රධාන තැනක් ගත් බව පෙනේ. මිෂනාරි ක්‍රිස්තියානි දහම පැතිරවීම සඳහා ජනමාධ්‍ය යොදාගත් බව පෙනේ. 1812 දී ආරම්භ වුණු බයිබල් මුද්‍රණාලය ඒ අතින් වැදගත් වන්නකි. මේ කාලයේ බැප්ටිස්ට් පල්ලිය මඟින් කෝට්ටේ හා මහනුවර ද ඇමරිකන් මිෂනාරි සේවයෙන් යාපනයේ ද මුද්‍රණාල පිහිටුවා මුද්‍රණ කටයුතු සිදුකොට තිබේ. සිංහල දෙමළ ඉංග්‍රීසි භාෂාත්‍රයෙන්ම මුද්‍රිත වූ මේ ප්‍රකාශන තුළින් වැදගත් තොරතුරු පාඨකයාට ලැබී ඇත.

1932 දී ප්‍රථම සිංහල සඟරාව “මාසික තෑග්ග” නමින් බිහිවිය.එමෙන්ම සමහරක් අර්ථ දක්වන්නේ “ලංකා නිධානය” පළමු සිංහල පුවත්පත බවයි.

මෙය පුවත්පතකට වඩා පොතක හැඩය ගත් බව සිංහල සාහිත්‍ය වංශයේ සඳහන් වේ. 1846 දී “සාහිත්‍ය නිධානය” නම් සඟරාව පළවිය. එහි කතුවරයා වූයේ ජෝන් පෙරේරා මහතා ය. මෙකී මුල් කාලීන පුවත්පත් සඟරාවන්හි මූලික අරමුණක් වී ඇත්තේ ක්‍රිස්තියානි ධර්ම ප්‍රචාරය කිරීමයි. එහි ප්‍රතිඵලයක් ලෙස බෞද්ධයන් ද මුද්‍රණාල ආරම්භ කිරීමේ ප්‍රවණතාවක් දක්නට ලැබේ. ආගමික වශයෙන් හෝ මේ යුගයේ ලේඛන කලාවේ එවැනි පුනරුදයක් ඇතිවීම සාධනීය ය. ඒ අතර පාඨකයන් හා ලේඛකයන් අතර පොත්පත් සඟරා පුවත්පත් කියවීමේ රුචියක් ද වර්ධනය වෙනු දක්නට ලැබේ.

මෙහි දෙවන අදියර ලෙසින් සැලකිය හැක්කේ 1860 – 1900 දක්වා කාලයයි. මේ කාලයේ ඇති විශේෂත්වයක් වනුයේ ආගමික වාද විවාද හා ශාස්ත්‍රීය වාද විවාද නිසා ලේඛන ඉතිහාසයේ නව පරිච්ඡේදයක් ආරම්භ වීමයි. ඉංග්‍රිසි පුවත්පත් බිහිවී දසක කිහිපයකට පසුව 1860 දී “ලංකාලෝකය” නමැති ප්‍රථම සිංහල පුවත්පත ආරම්භ වේ. මේ කාලය වන විට සියලු ම මුද්‍රණාලයන්හි අයිතිය ක්‍රිස්තු භක්තියකයන් අත පැවතීම නිසා බෞද්ධයන්ට සිදුවන පහර වැදීම් වළකා ගැනීමට බුලත්ගම ධම්මාලංකාර හිමියන්ගේ ප්‍රධානත්වයෙන් සියම් රජුගේ ද ආධාර ඇතිව ගාල්ලේ ‘ලංකෝපකාරය’ නමින් මුද්‍රණාල‍යක් ආරම්භ කළේ ය. එයින් පිට කළ පළමු පුවත්පත වූයේ ‘ලංකාලෝකයයි’. පළමු පුවත්පත ලංකාලෝකය වුවත් රජයේ ලියාපදිංචි කරන ලද පළමු පුවත්වත වනුයේ ‘ලක්මිණි පහණ’ය. එහි කතුවරයා වූයේ කොග්ගල පඬිතුමා ය. මේ පුවත්පතෙහි ආකෘතිය හා අන්තර්ගතය එකල වැදගත්කමක් දැරීය.

ඉංග්‍රීසි පුවත්පත්වල ස්වභාවය දෙස බලා සකස් කරගත් කරුණු වලින් පත්‍රය සමන්විත වන බව එහි කතුවැකියේ ම සඳහන් ය. 1866 දී ආරම්භ වුණු ‘ඥානාර්ථප්‍රදීපය’ පුවත්පත දීර්ඝ ඉතිහාසයක් ඇති පුවත්පතකි. මෙය කතෝලික සභාව විසින් ආරම්භ කරන ලද්දකි. ක‍තෝලික දහම ප්‍රචාරය කිරීමේ ලිපි ලේඛන බහුල වශයෙන් මෙහි ඇතුළත් වූ අතර පසු කාලයේදී විවිධ වාද විවාද වලට භාජනය වූ ලිපි ලේඛන ද මෙහි පළ විය. ඒ හැර ක‍තෝලික ජනතාවට සිංහල භාෂාව පිළිබඳ දැනුමක් සිංහල සංස්කෘතිය පිළිබඳ දැනුමත් ලබාදීමෙන් විශාල සමාජයීය කාර්යයක් සිදුකොට ඇති බව පෙනේ. ඥානාර්ථප්‍රදීපය පුවත්පතින් නඟන ලද ප්‍රශ්නවලට පිළිතුරු දීම පිණිස බෞද්ධයන් විසින් 1867 දී “සත්‍ය මාර්ගය” නමින් පුවත්පතක් ආරම්භ කෙරිණි. එහෙත් මෙය දීර්ඝ කාලයක් පවත්වා ගෙන ගොස් නැත. ලේඛන ඉතිහාසයේ දී මෙබඳු පුවත්පත් වැදගත් මෙහෙයක් ඉටු කළ බව කිවහැකි වන්නේ ජනමාධ්‍ය ශිල්පීන් ඒ ඔස්සේ විවාද මණ්ඩප විවෘත කරගත් බැවිනි.

මෙකල්හි පුවත්පත් කලාවේ වැදගත් වන තවත් ලක්ෂණයක් වනුයේ කවට පුවත්පත් ආරම්භ වීමයි. ජනමාධ්‍යයේ මුඛ්‍ය අපේක්ෂා වන විනෝදාස්වාදන මාර්ගය සොයා ගැනීමේ නව ප්‍රවණතාවක් ඒ අනුව බිහි විය. මෙය වැදගත් ඉලක්ක කණ්ඩායමයක් යැයි සැලකූ ජී.ඩී. පෑලිස් අප්පුහාමි 1871 දී “කවට කතිකයා” පුවත්පත් ආරම්භ කළේ ය. ඒ අනුව යමින් 19 වැනි සියවස තුළ දී පළ වූ තවත් පුවත්පත් කිහිපයක් නම් කවට දක්ෂයා (1889) කවට මිත්‍රයා (1891) කවට නරේන්ද්‍රයා (1891) කවටයා (1894) දැනුමැති කවටයා (1895) යනාදියයි.

මෙරට නිදහස් ව්‍යාපාරයේ පුරෝගාමී මධ්‍යස්ථානයක් වූ පරම විඥානාර්ථ සමාගමේ පාලනය යටතේ 1830 “සරසවි සඳරැස” පුවත්පත ආරම්භ විය. වේරගම පුඤ්චිබණ්ඩාර මහතා මෙහි කතුවරයා විය. මෙය ජාතිකාභිමානය ඇතිකරවන සුලු පුවත්පතක් විය. ප්‍රකට ආගමික නායකයකු වන අනගාරික ධර්මපාල තුමා ද මෙයට සම්බන්ධ වූවෙකි. එමෙන්ම එවකට පැවති ණ, න, ළ, ල ගුත්තිල වැනි වාද විවාද පවත්වාගෙන යන ලද්දේ සරසවි සඳරැස පුවත්පතයි. මේ පුවත්පත අධිරාජ්‍ය විරෝධී අදහස් පළ කිරීම නිසා කතුවරයාට විරුද්ධ ව නඩු පවරා ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස ආණ්ඩුව 1915 දී “සරසවි සඳරැස” තහනම් කොට ඇත.

ප්‍රථම වරට දිනපතා පළවන පුවත්පතක් ලෙස ආරම්භ වන්නේ “දිනපතා ප්‍රවෘත්ති” නම් පුවත්පතයි. මෙය ආරම්භ වනුයේ 1890 දී පමණ බව සිංහල සාහිත්‍ය වංශයේ සඳහන් වේ.

මේ අතර 19 වැනි සියවස අග භාගයේදී විවිධ විෂයයන් යටතේ පළවන පුවත්පත් සඟරා දක්නට ලැබේ. ගොවිකම් සඟරාව (1890) විද්‍යා දර්ශන සඟරාව (1893) ලංකා කම්කරු ප්‍රබෝධය (1893) වෛද්‍ය ශාස්ත්‍රාලංකාරය විද්‍යා දීපිකා (1895) යනාදි විෂය ක්ෂේත්‍රයන් සඳහා ලියැවුණු සඟරා ආදිය බිහිවීමෙන් ලේඛන ඉතිහාසයේ ප්‍රවණතා මැනගත හැකිය. 19 වැනි සියවසේ අවසාන කාලපරිච්ඡේදය වන විට ජාතික හැඟීම් ප්‍රබුද්ධකොට විදේශීය පාලකයන්ගෙන් මිදීමට දරන උත්සාහය සමහර පුවත්පත් සඟරා ආදියෙන් පෙනෙන්නට ඇත. මේ සඳහා ජනමාධ්‍ය යොදාගත් ආකාරයක් ද පෙනේ.

තෙවන අදියර ලෙසින් සැලකෙන 1900 – 1948 කාලවකවානු තුළ ලංකාවට නිදහස ලබාගැනම ආදී වූ වැදගත් ම සන්ධිස්ථානයන් රැසක් පසුකරන බව පෙනේ. ප්‍රධාන පෙළේ පුවත්පත් ආයතන ආරම්භ වීමත් දේශපාලන කටයුතු වලට උද්‍යෝගයෙන් නැඹුරු වීමත් වාමාංශික ව්‍යාපාරය වර්ධනය වීමත් ඒවා පුවත්පත් සඟරා ඔස්සේ ව්‍යාප්ත වීමත් දක්නට ලැබෙන විශේෂත්වයකි.

1906 දී ඇරඹුණු “සිංහල බෞද්ධයා” පුවත්පත මහාබෝධි සමාගම විසින් අනගාරික ධර්මපාල තුමා යටතේ ආරම්භ කෙරිණි. ජාතික නිදහස උදෙසා ජනතාව අවදි කිරීමට දරන උත්සාහය මේ පුවත්පතින් දක්නට ලැබිණි. මේ නිසාම ඉංග්‍රීසි ආණ්ඩුව විසින් සිංහල බෞද්ධයා පුවත්පත 1915 දී තහනම් කරන ලදී. 1910 දී ඇරඹුණු “සිංහල ජාතිය” පුවත්පතින් ද එබඳු ම සේවාවක් වී තිබේ. පියදාස සිරිසේන මහතා ආරම්භ කළ මේ පුවත්පත 1902 දී ආරම්භ කළ “සිංහල ජාතිය” සඟරාව පුවත්පතට හැරවීමකි

1909 වර්ෂය වන විට තවත් වැදගත් සංධිස්ථානයක් ලාංකේය පුවත්පත් කලාවේ සිදු වේ. ඒ දිනපතා පුවත්පතක් වශයෙන් “දිනමිණ” ආරම්භ වීමයි. එච්.එස්. පෙරේරා මහතා විසින් ආරම්භ කරන ලද මේ පුවත්පත ආර්ථික අපහසුතා හේතුවෙන් නවත්වන තැනට කටයුතු යෙදී තිබිණි. අනතුරුව 1914 දී ඩී. ආර්. විජයවර්ධන මහතා විසින් මිලදී ගනු ලැබුව දිනමිණ පුවත්පත ප්‍රතිසංස්කරණවලට භාජනය විය. කෙසේ වෙතත් සීමාසහිත ලංකාවේ එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම ආරම්භ වනුයේ ද ඉන් අනතුරුව ය. ඒ වන විට පැවති ටයිම්ස් ආයතනය සමඟ තරග කිරීමේ ශක්තිය තිබුණේ ලේක්හවුස් ආයතනයට ය. ටයිම්ස් ආයතනයට වඩා ලේක්හවුස් ආයතනය දේශීයත්වයට නැඹුරු බවක් දැක්වීය.


එකල පැවති ඉංග්‍රීසි පුවත්පත් කිහිපයක් ම මිලදී ගනිමින් ලේක්හවුස් ආයතනය ප්‍රවර්ධනය කිරීමට ඩී.ආර්. වි‍ජේවර්ධන මහතා තීරණය කිරීම වැදගත් කරුණකි. ඩේලි නිව්ස් හා සිලෝන් ඔබ්සර්වර් වැනි පත්‍ර මිලදී ගනිමින් ලාංකේය ලේඛන ඉතිහාසයේ නව නැම්මක් සළකුණු කිරීමට ඔහුට හැකි වී තිබේ.

1880 දී ආරම්භ වූ “සරසවි සඳරැස” හා 1901 දී ආරම්භ වුණු “සිංහල සමය” යන පුවත්පත් දෙක එකතුකොට 1916 දී සරසවි සඳරැස හා සිංහල සමය යනුවෙන් පළකරන ලදී. මේ කාලයේ පුවත්පත් සඟරා ආදිය පවත්වාගෙන යෑමේ දුෂ්කරතා ඇතිවී ඇති අතර පුවත්පත් ආචාරධර්මවලට පටහැනි ලක්ෂණ පෙන්නුම් කරන පුවත්පත් කිහිපයක් ද බිහිවී ඇති බව පෙනේ. “ලටපට” “ඒක මේක” “අංජනම් එළිය” “මරු සන්නිය” “සුදු කොඩිය” ඉන් කිහිපයකි.

1924 දී ආරම්භ කරන ලද “ස්වදේශීය මිත්‍රයා” පුවත්පත ඉතාමත් ආදර්ශවත් පුවත්පතකි. මෙහි කතුවරයා වූයේ ඩී.ඩබ්ලිව්. වික්‍රමාරච්චි මහතා ය. මේ පුවත්පත දීර්ඝ කාලයක් තිස්සේ නොපැවතුණත් පැවති කාලය තුළ දී ඉතාමත් වැදගත් මෙහෙයක් ඉටුකළ පුවත්පතකි. මේ අතරේදී 1930 වර්ෂයේ “සිළුමිණ” නමින් ඉරිදා පත්‍රයක් බිහිවුණ අතර එය හැඳින්වූයේ “ශත දහයේ විශ්ව විද්‍යාලය” නමිනි. පියසේන නිශ්ශංක මහතාගේ ආරම්භක කර්තෘත්වයෙන් යුත් මේ පුවත්පත බිහිවූයේ ලේක්හවුස් ආයතනය හරහා ය.

1930 දී ගණන් වන විට පුවත්පත් කලාවේ නව පිබිදීමක් ඇතිවිය. ඒ වාමාංශික ව්‍යාපාරය ආරම්භ වීමත් සමඟම පුවත්පත් කිහිපයක් ම බිහිවීමෙනි. මේ ප්‍රවණතාව යටතේ බිහි වූ පළමු පුවත්පත වන්නේ 1934 දී බිහිවුණු “කම්කරුවා” පුවත්පතයි. ගොවි කම්කරු ජනතාව වෙනුවෙන් මේ පුවත්පත පෙනී සිටියේ ය. ලංකා සමසමාජ පක්ෂය ආරම්භ වීමෙන් පසු සිංහල දෙමළ ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයෙන් “සමසමාජය” පුවත්පත් බිහිවිය. අධිරාජ්‍ය විරෝධී මත ප්‍රබල ලෙස පළ කරන ලද පුවත්පතක් වශයෙන් “සමසමාජය” එකල ප්‍රකට විය. 1940 ගණන් වල වාමාංශික ව්‍යාපාරයේ ඇති වුණු බේද භින්නතා නිසා පුවත්පත් කිහිපයක් ම බිහි වී තිබේ. ‘නවශක්ති’, ‘මව්බිම’, ‘නවලෝකය’, ‘ගිනි පුපුර’ ඉන් කිහිපයකි. මේ පුවත්පත් තුළින් කැපී පෙනුණු ලක්ෂණයක් වූයේ අධිරාජ්‍ය විරෝධී අදහස් මෙන්ම ජාතික නිදහස අරමුණු කරගත් අදහස් ද බහුල ව භාවිතා වීමයි. මේ නිසා මේ පුවත්පත්වල කතුවරුන්ට වරින්වර සිර දඬුවම් විඳින්නට සිදු විය.

සිව්වන අදියර ලෙසින් 1948 – 1970 දක්වා කාලය ගත හැකිය. 1948 නිදහස ලබා ගැනීමෙන් පසුව පුවත්පත් සඟරා දේශීය සංස්කෘතිය ගැන හා සාමාජීය ප්‍රශ්න පිළිබඳ අවබෝධයක් ලබාගෙන තිබේ. විවිධ පාඨක කණ්ඩායම් වෙත මෙන්ම දේශපාලනික කරුණු කෙරෙහි ද නැඹුරුවක් යොමුකොට තිබේ. 1947 දී ආරම්භ වුණු “ලංකාදීප” පුවත්පත ලේක්හවුස් ආයතනයේ “දිනමිණ” පුවත්පතට වඩා දේශීය සම්ප්‍රදාය කෙරෙහි වැඩි අවධානයක් යොමු‍ෙකාට තිබේ. සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු යන පංචමහා බලවේග යටතේ ජනතාව ගොනු කරමින් නව චින්තනයක් ඔස්සේ ඔවුන් මෙහෙයවීමට දැරූ උත්සාහය එම පුවත්පතින් මුල්කාලයේදී දැකගත හැකිය.

මෙරට ප්‍රථම දිනපතා පුවත්පතක් ලෙස දේශපාලන අරමුණු පෙරදැරි කරගනිමින් බිහි වූයේ “කොමියුනිස්ට්” පුවත්පතයි. ඒ 1949 දී බිහිවුණු “සිංහලේ” පුවත්පතද 1956 දී ජනතා සටන් වලදී විශේෂ කාර්ය භාරයක් ඉටුකර තිබේ. ලංකාදීප පුවත්පතද මේ සඳහා සහයෝගයක් දැක්වීය. එකල සිටි ඉංග්‍රීසි උගතුන්ගේ ඒකාධිකාරය බිඳ දැමිය හැකි බලවේගයක් බිහි කිරීම මේ පුවත්පත්වල අරමුණ වූ බව පෙනේ. 

1953 දී සවස පුවත්පතක් ලෙසින් ටැබ්ලොයිඩ් ප්‍රමාණයේ “ජනතා” පුවත්පත ලේක්හවුස් ආයතනයෙන් බිහි විය. 1961 දී ඇම්. ඩී. ගුණසේන සමාගමේ ප්‍රධානත්වයෙන් “දවස” පුවත්පත් ආයතනය බිහි විය. දවස පුවත්පතේ කතුවරයා වූයේ “ලංකාදීප” පුවත්පතින් ඉවත් වූ ඩී. බී. ධනපාල මහතා ය. එකල ‘දවස’ ඉතාමත් ජනප්‍රිය පුවත්පතක් බවට පත් විය. ටික දිනකින් එහි ඉරිදා පුවත්පත වූ ‘රිවිරැස’ ආරම්භ විය. 60 දශකය වන විට ලංකාවේ ප්‍රධාන පෙළේ පුවත්පත් ආයතන තුනක් විය. එනම් ටයිම්ස් ආයතනය, ලේක්හවුස් ආයතනය හා දවස (ස්වාධීන ප්‍රවෘත්ති පත්‍ර ආයතනය) යන ආයතනයයි. 1964 දී සිදුවූ විශේෂ සිද්ධියක් වන්නේ එකල පැවති රජය විසින් පුවත්පත් කොමිසමක් පත් කිරීමෙන් පසුව ලේක්හවුස් ආයතනය රජයට පවරා ගැනීමට උත්සාහ දැරීමයි.

මෙහිදී පුවත්පත් ආයතන තුනම එයට විරුද්ධව ප්‍රබල ජනමතයක් ඇති කිරීමට කටයුතු කරනු ලැබීය. 1964 දී “ඇත්ත” පුවත්පත බිහි විය. ඉන්පසු දේශපාලන පුවත්පත් වන “ජනදින” “සිරිලක” ආදිය බිහිවිය. ඇත්ත පුවත්පතේ කතුවරයා වූ බී.ඒ. සිරිවර්ධන මහතාගේ කතුවැකි විශේෂයෙන් ප්‍රසාදයට ලක් වූ අතර අදත් ජන මතකයේ රැඳී ඇත.

පස්වන අදියර ලෙසින් 1970 න් පසු අද දක්වා කාලය සැලකිය හැකිය. නවීන තාක්ෂණික උපක්‍රම භාවිතා කිරීම මෙන්ම පුවත්පත් සංඛ්‍යවෙන් විශාල ප්‍රමාණයක් බිහි වීමද මේ කාලයේ විශේෂත්වයකි. රාජ්‍ය අංශයේ බලපෑම ජනමාධ්‍ය කෙරෙහි එල්ල වීම තදබල ලෙස ආරම්භ වූ කාලයක් ලෙස 70 දශකයෙන් පසුකාලය හැඳින්විය හැකිය. විවෘත ආර්ථිකය ලේඛන කලාවට බලපෑම් කරනා ප්‍රබල අන්දම ද මේ වකවානුවේ අපට දැකගත හැකිය. චිත්‍ර කතා පුවත්පත් මෙන්ම ලිංගික ප්‍රකාශන ද මේ වකවානුවේ බහුල වශයෙන් බිහි වේ.

ඊට අමතරව විවිධ විෂයන් යටතේ බිහිවන පුවත්පත් සඟරා විශාල ප්‍රමාණයක් ද මේ කාල වකවානුවේ දැකගත හැකිය. නිදසුනක් ලෙසින් සිනමා, සෞඛ්‍ය, අධ්‍යාපන, ජ්‍යෙතිෂය, කාන්තා ළමා, යොවුන්, ශාස්ත්‍රිය, ආගමික, දේශපාලන, චිත්‍ර කතා, ලිංගික යනාදී විවිධ ක්ෂේත්‍ර යටතේ පුවත්පත් බිහි වුවද මේවා දීර්ඝ කාලයක් පවත්වා ගැනීමේ හැකියාවක් ලැබෙන්නේ නැත. මන්ද එහි ඉලක්ක කණ්ඩායම්හි පවතින විචල්‍යතා නිසා ය.

1973 වර්ෂය පුවත්පත් නිදහස සම්බන්ධයෙන් තීරණාත්මක වර්ෂයකි. ලේක්හවුස් ආයතනය රජයට පවරා ගැනීමත් සමඟ ම පුවත්පත් සම්බන්ධයෙන් තීරණාත්මක වෙනස්කම් රාශියක් සිදුවිය. ඉන්පසු ලේක්හවුස් ආයතනය මඟින් පළ කළ පුවත්පත්වල සඳහන් වූයේ රජයට පක්ෂපාතී අදහස් ය. 1977 න් පසු වෙනත් පිරිසක් බලයට පත් වුවද එහි වෙනසක් සිදුවූයේ නැත. 1974 දී ‘දවස’ ආයතනයට සීල් තැබීම ද මෙකල සිදුවූ වැදගත් සිද්ධියකි. 1975 දී පමණ ටයිම්ස් ආයතනයේ ද විවිධ කලබල දක්නට ලැබුණි. මේ ආයතන සියල්ලෙහි ම විවිධ කලබල ඇතිවී ඇත්තේ දේශපාලන සිදුවීම් අරමුණු පෙරදැරි කරගනිමිනි. ලංකාවේ පුවත්පත් ආයතනවල මුහුණුවර වෙනස් ස්වභාවයක් ගන්නා අවදියක් ලෙස 70 න් පසු දශක කිහිපය හඳුන්වා දිය හැකිය. 

1977 වසරේදී දවස ආයතනය නිදහස් වූ අතර නව රජයක් පත්වූ පසු ‍ලේක්හවුස් ආයතනයේ ද වෙනස්කම් රාශියක් සිදුවිය. 1977 වසරේදී නව රජය යටතේ ටයිම්ස් ආයතනය රජයට පවරා ගනියි. 1985 දී ටයිම්ස් ආයතනය වසා දමනු ලැබීය.

ලේඛන ඉතිහාසයේ තවත් වැදගත් සිදුවීමක් සනිටුහන් වන්නේ 1981 දීය. එනම් උපාලි පුවත්පත් සමාගම ආරම්භ වීමයි. පළමුවෙන් 1981 දී “ඉරිදා දිවයින සංග්‍රහය” සහ “සන්ඩේ අයිලන්ඩ්” පුවත්පත් පළකරනු ලැබීය. 1982 සිට දිනපතා “දිවයින” සහ “දි අයිලන්ඩ්” පුවත්පත් ඇතුළු වාර ප්‍රකාශන කිහිපයක්ම මේ ආයතනය විසින් ආරම්භ ‍කොට ඇත.

මේ වන විට මුද්‍රණ ඉතිහාසයේද සුවිශේෂී වෙනස්කම් සිදුවෙමින් පැවතිණි. එහි වි‍ශේෂත්වයක් වන්නේ ඕෆ්සෙට් ක්‍රමය (OFFSET) යටතේ පුවත්පත් මුද්‍රණය ආරම්භ වීමයි. ලේක්හවුස් ආයතනය ප්‍රථමවරට ඕෆ්සෙට් ක්‍රමය යොදා ගැනීමට සූදානම් වුවත් ප්‍රථම වරට පුවත්පතක් මුද්‍රණය කරන ලද්දේ ටයිම්ස් ආයතනයයි. 1981 දී ශ්‍රී ලංකාදීප හා සන්ඩේ ටයිම්ස් යන පුවත්පත් දෙක ඕෆ්සෙට් ක්‍රමය යටතේ මුද්‍රණය විය. 1985 දී ටයිම්ස් ආයතනය වසා දැමුවත් 1986 දී රන්ජිත් විජයවර්ධන මහතා විසින් ඒ ආයතනය මිලදී ගැනීමෙන් පසුව පුවත්පත් මුද්‍රණය ආරම්භ කළේ ය. දිනපතා “ලංකාදීප” නැවත ආරම්භ වූයේ 1991 දීය. විජය ප්‍රකාශන සමාගම නමින් අද හඳුන්වන මේ ආයතනයෙන් මේ වන විට වාර ප්‍රකාශන රාශියක් ම මුද්‍රණය වේ.

1990 දී දවස ආයතනය වැසී ගියේය. 80 – 90 දශක තුළදී විකල්ප පුවත්පත් සඟරා බිහිවීමත් සැලකිය යුතු සිද්ධියකි. ප්‍රධාන පුවත්පත් දහරාවේ මහජනයාට හිතකර ප්‍රවෘත්තිවලට වඩා දේශපාලනයට හිතකර ප්‍රවෘත්ති ඉදිරිපත් වන බැවින් නියම ජනමතයක් ඉදිරිපත් නොවීය. මේ නිසා ඉතා ශීඝ්‍රයෙන් විකල්ප පුවත්පත් කලාවක් ආරම්භ විය. විකල්ප පුවත්පත් ඉතා ඉක්මනින් ම ජනප්‍රිය විය. දැනටත් ජනප්‍රිය ව පවතින රාවය මේ සඳහා නිදසුන් ය. රජයේ ආයතන මඟින් ද සඟරා කිහිපයක් නිකුත් වේ. 1970 සිට අද වන තුරු කාලය තුළදී ලේඛන කලාවේ විශාල ප්‍රගතියක් ලබා ඇති බව රහසක් නොවේ. තාක්ෂණික විධික්‍රමයන් හි වර්ධනයත් සමඟ සිත් ඇදගන්නා සුලු පුවත්පත් සඟරා බිහිවීමත් කලාත්මක නිමාවකින් යුක්ත වූ ආකෘති භාවිතා කිරීමත් සැලකිය යුතු කරුණකි. දියුණු රටවල යොදාගනු ලබන මුද්‍රණ ක්‍රම භාවිතය සහ අධි වේගයෙන් යුක්තව මුද්‍රණ කටයුතු කිරීමත් දක්නට ලැබේ. එසේ වුවත් ගුණාත්මක ලක්ෂණ දෙස බැලීමේදී සතුටුදායක තත්ත්වයක ඇති බව නම් නොපෙනේ. ප්‍රමාණයෙන් අධික වුවද ගුණයෙන් හිනවී තිබීම පැහැදිලිව පෙනෙන සත්‍යයකි. වාණිජ පරමාර්ථ උදෙසා පුවත්පත් බිහි වීම මෙයට හේතුවයි. අද වන විට මේ තත්ත්වය ඉතාමත් අභාග්‍යසම්පන්න ලෙසින් වර්ධනය වී තිබේ.








Friday, 16 January 2026

ගෝලීය සංස්කෘතිය 

ගෝලීයකරණය/ගෝලීය සම්ප්‍රධාය යන සංකල්පය මුලින්ම ඉදිරිපත් කරන ලද්දේ 1981 වර්ෂයේදී ජෝන් මැක්ලීන් විසිනි.

ගෝලීය සංස්කෘතිය සංකල්පය රෝලන් රොබට්සන් විසින් 1985 දී ඉදිරිපත් කරන ලදී.

මානව වර්ගයාගේ සමාජ පරිණාමය වර්තමානය වනවිට ගෝලීය මට්ටමක් දක්වා වර්ධනය වී ඇත. වෙන් වෙන්ව හුදකලාව වෙසෙමින් තම විවිධ අවශ්‍යතා ඉටුකර ගත් රට රටවල මහජනයා ලෝකය එක ම රටක් ලෙස සලකා කටයුතු කරන අයුරු දැකගත හැකිය. වෙනම ආගම් අදහන, වෙනම භාෂාවන් කතා කරන, වෙනම ආහාරපාන ගන්නා, වෙනම තීන්දු තීරණ ගන්නා පිරිසක් ලෙස නොසිතා ලොව සමස්ත වැසියෝ පොදු න්‍යාය පත්‍රයක් තුළ පිහිටා කටයුතු කරන සෙයක් දක්නට ලැබේ. එයට කියන්නේ ගෝලීයකරණය යන වචනයයි.


ගෝලීයකරණය මගින් වර්තමාන මිනිස් ජීවිතයේ සියලු ක්ෂේත්‍ර ස්පර්ශ කරනු ලබයි. ආහාර,නිවාස, ඇදුම් පැළදුම්, යාන වාහන, ව්‍යාපාර,අධ්‍යාපනය, සිරිත් විරිත්, චාරිත්‍ර වාරිත්‍ර යනාදිය තව දුරටත් තම දේශීය අනන්‍යතාවෙන් යුත්ත වැඩපිළිවෙළක් ඔස්සේ ක්‍රියාත්මක නොවේ. ඒවා ලෝකයේ කොහේ හෝ උපරි සමාජයකින් ව්‍යාප්ත වූවකි. නූතන මිනිසාගේ ඇගලුම් හා ශරීරාභරණ   දෙස විමසා බැලීමේදී පෙනී යන්නේ ඒවායෙහි කොටස් ලොව විවිධ රටවල නිපදවා ඇති ඒවා බවයි.

ගෝලීයකරණය මූලික වශයෙන් ආර්ථික ක්‍රියාවලියකි. ආර්ථික වාසි අත්පත් කර ගැනීමේ ප්‍රමුඛ අපේක්ෂාව මත ලොව සුපිරි රටවල ව්‍යාපාරික පැලැන්තියේ අනුග්‍රහය මත ගෝලීයකරණයට වැඩෙන්නට ඉඩහැර තිබේ.

ආර්ථිකයේ ගෝලීයකරණය යනු, නිෂ්පාදන බලවේගවල සහ නිෂ්පාදන සම්බන්ධතාවල ලෝක පරිමාණ ව්‍යාප්ත වීම සහ සියලු ජාතික, පාර ජාතික, බහුජාතික සමාගම්වල ක්‍රියාකාරීත්වය මගින් ලොවපුරා විසිරී පවතින විවිධ ආර්ථික ක්‍රියාකාරකම් ඒකීය සමස්ථයක් ලෙස ඒකාබද්ධව මෙහෙයවීමයි. එනම් මෙහිදී සිදුවන්නේ එක් එක් රටවල් මූලික කරගෙන බිහි වූ විවිධ ක්ෂේත්‍ර වලට අදාළ ව්‍යාපාර වෙනත් රටවල් කරා ද ව්‍යාප්ත වීම සිදු වූ බවයි. එපමණකින් නොනැවතී සමාන නිෂ්පාදන පවත්වාගෙන යන්නන්ගේ ගොනුගත වීමක් ද සිදුවන්නට විය. අසීමිත ලාභ අපේක්ෂාවෙන් බහුජාතික  සමාගම් ලෙස ඒකාබද්ධ වූ මොවුන් ජාතික රාජ්‍යයන්ට ද බලපෑම් කරමින් තම ව්‍යාපාර ඉලක්ක කරා ගමන් කරන්නට විය. මෙම බහුජාතික සමාගම් වලට එරෙහිව ගොඩනැගෙන සියලු ව්‍යාපාර තම මූල්‍යමය බලය යොදවා විනාශ කර තමන් තව දුරටත් ඒකාධිකාරී බලයක් සහිතව ගොඩනැගෙන්නට කටයුතු කරමින් සිටී.

වර්තමානයේදී මෙම ආර්ථිකයේ ගෝලීයකරණයට සමගාමී ව දේශපාලනය, සංස්කෘතිය, අධ්‍යාපනය, මාධ්‍ය ආදී මානව ක්‍රියාකාරීත්වයේ සියලු ක්ෂේත්‍ර  ගෝලීයකරණයට ලක් වී තිබේ.


 ඇමරිකානු ජනාධිපතිවරණයේදී ඊට ඉදිරිපත්වන අපේකෂකයින් තම දේශපාලන ප්‍රචාරක කටයුතු සිදුකරන්නේ ඇමරිකානු සමාජය පමණක් මූලික කරගෙන නොව සමස්ථ ලෝකය  ම ඉලක්ක කරගෙනය. එසේ කරන්නේ ඔවුන් ලෝකයම මෙහෙය වන රටක් වන නිසාත් ඔවුන්ගේ පාලකයින් ගනු ලබන තීන්දු තීරණ ලොව කෙරෙහි බලපාන නිසාත්ය.

 ශ්‍රි ලංකාවේ ශිෂ්‍ය  ප්‍රජාවට ඇමරිකාව, රුසියාව, එංගලන්තය, ඔස්ට්‍රේලියාව වැනි රටවලින් ඉදිරිපත් කරන විභාග සදහා ශ්‍රී ලංකාවේ සිට පෙනී සිටීමට හැකි වීම අධ්‍යාපනයේ ගෝලීයකරණයට උදාහරණයකි.

මානව සමාජ පරිණාමයේ ප්‍රතිඵලයක් ලෙස වර්ථමානයේ නිර්මාණය වී ඇති ගෝලීය උපරි සමාජය ඊට අයත් උපරි ආර්ථිකය, උපරි රාජ්‍ය, උපරි  දෘෂ්ටිවාදය, උපරි සංස්කෘතිය, උපරි මාධ්‍ය සංස්කෘතිය යනාදියෙහි ආධිපත්‍යයට නතුව තිබීම සමකාලීන ගෝලීය වර්ධනයේ විශේෂයකි.

උපරි සමාජ ලෙසින් හැදින්වෙන්නේ සුපිරි සමාජයන්ය. එනම් ආර්ථිකය ඇතුලු සෑම අතින් ම දියුණු සමාජයන්ය.ඇමරිකාව, බ්‍රිතාන්‍ය, ප්‍රංශය, ජර්මනිය, චීනය වැනි රාජ්‍යයන් ඊට උදාහරණ වේ. මෙම රටවල් අත්පත් කරගෙන ඇති බලවත්කම නිසා ම අන් රටවල් මේ රටවල් කෙරෙහි දක්වන්නේ වහල් භාවයකි. විචාර බුද්ධියකින් තොරව මෙවැනි රටවල්වල සංස්කෘතික ගති ලක්ෂණ දුප්පත් රටවල් විසින් ඇදහීම සදහා යොමු වී තිබීම සමකාලීන ගති ලක්ෂණයකි.

ගෝලීය උපරි සමාජ බිහිවීම   සමාජ ගමන්මගේ තවත් එක් අදියරක් ලෙස සැළකි හැකිය.

මුල් යුගයේ දී අනුගමනය කළ විවිධ ආර්ථික උපක්‍රම නිසාත්, දුප්පත් රටවල් යටත් විජිතයන් ලෙස පාලනය කරගෙන යාම නිසාත් ලෝකයේ සමහර බටහිර හා යුරෝපීය රටවල් ධනවත් රාජ්‍යයන් බවට පත් වූහ. ඔවුන් තම අණසක ලොවපුරා ව්‍යාප්ත කිරීමට කටයුතු කිරීමත් ඊට දුප්පත් රටවල් සටනකින් තොරව හිස නැමීමත් නිසා මෙම ආක්‍රමණික රටවල් බලවතුන් බවට පත්විය.

ඒ අනුව,ගෝලීය සංස්කෘතිය යනු,ගෝලීය උපරි සමාජයේ අනුදැනුම හා මග පෙන්වීම යටතේ ලොව සියලු ජාතික, වාර්ගික, සංස්කෘතීන් විනාශ කරමින් ව්‍යාප්ත වන ජන සංස්කෘතිය ලෙසින් හැදින්විය හැකිය.

උක්ත ප්‍රකාශයෙන් තහවුරු වන්නේ ලොව ධනවත්, මෙන්ම බලවත් රටවල්වල ආශිර්වාදයෙන් ඔවුන්ගේ උවමනාවට අනෙකුත් සංස්කෘතීන් පාගා දමා ගෝලීය සංස්කෘතිය ගොඩ නගන බවයි.

   සමකාලීන සංස්කෘතික ගෝලීයකරණය තුළ ක්‍රියාත්මක වන්නේ අධිරාජ්‍යවාදී ආකෘතියකි.

ex බොහෝ ජාතික රූපවාහිනී නාලිකාවල ආධිපත්‍ය දරන්නේ ගෝලීය උපරි සමාජය නියෝජනය කරන පාරජාතික සමාජවල රූපවාහිනී නිෂ්පාදන වීම. 

 ගෝලීය තොරතුරු ප්‍රවාහයේ 85% ක් අයත්වන්නේ ගෝලීය උපරි සමාජයේ සමාගම් පහකටය.

ලෝකයේ දැවැන්ත වෙළද දැන්වීම් සමාගම් 10 න් 9ක් ම අයත්වන්නේ උතුරු ඇමරිකානු සමාගම්වලටය.

ලෝකයේ වඩාත් ජනප්‍රිය චිත්‍රපට 100 අතරින් 88ක්ම ඇමරිකානු ඒවා වන අතර, ලොවපුරා රටවල් විසින් ආනයනය කරන වැඩසටහන් අතරින් 75%ක් ම ඇමරිකානු ඒවාය.

සංස්කෘතියේ ගෝලියකරණය හරහා නිර්මාණය වී ඇති තවත් ප්‍රවණතාවක්  වන්නේ සියලුම ජාතික.සංස්කෘතීන් වලට ආවේණික වූ ආහාර සංස්කෘතිය, භාෂා භාවිතය, විලාසිතා සංස්කෘතිය,අධ්‍යාපන සංකෘතිය, ජාතික ජාතික චින්තන සංස්කෘතිය යනාදිය තර්ජනයට ලක්වෙමින් පැවතීමය.

සියලු ජාතික සංස්කෘතීන් ඒකාකාර වීම සහ සමජාතීකරණය වීම වර්තමානයේදී ගෝලීය ගැටලුවක් බවට පත්ව තිබේ. අද ලෝක වාසී ජනයා පෘතුවි වැසියෙකු ලෙස හදුන්වන්නේ මේ නිසාය.







 ජනප්‍රිය සංස්කෘතිය




සමාජයෙහි මානවයාගේ ක්‍රියාකාරිත්වය බහුවිධ වේ.එසේම ඔවුන් අයත් වන සමාජ ස්ථර අනුවද එකී ක්‍රියාකාරිත්වයේ ස්වභාවය වෙනස් වේ.එම ක්‍රියාකාරිත්වයේ විකාශය සමග සංස්කෘතිය බිහි විය.

සමකාලීන නූතන මානවයාගේ පරිණාමයේ දී සැලකිය යුතු සංස්කෘතික ප්‍රභේද සමූහයක් නිර්මාණය වී ඇත.එහි එක් සංස්කෘතික ප්‍රභේදයක් ලෙස ජනප්‍රිය සංස්කෘතිය හැදින්විය හැක.

ජනමාධ්‍ය මගින් සමාජගත කරන භාණ්ඩ හා සේවා හා බැදුණ සංස්කෘතික ස්වරූපය ජනප්‍රිය සංස්කෘතියයි.ජන සස්කෘතියේ වඩාත්ම ආකර්ෂණීය කොටස මෙය වේ. භාණඩ හා සේවා නිෂ්පාදකයන්ද , ජනමාධ්‍ය ද  , පාරිභෝගිකයාද එක් වීමෙන් ජනප්‍රිය සංස්කෘතිය නිර්මාණය වේ. ජනයා සමග වැඩෙන නොහොත් ජනයාට ප්‍රිය වූ සංස්කෘතිය ලෙසද මෙය හදුනාගත හැකිය.

14 වන හා 16 වන සියවස්  අතර පුරාණ ග්‍රීසියේ සිටම ජනප්‍රිය සස්කෘතිය යන්න හදුනාගැනීමකට ලක් විණි. නූතන තාක්ෂණයත් සමග 20 වන සියවසේදී බිද  වැටීමකට ලක් වූ සම්භාව්‍ය සංස්කෘතියට විකල්පයක් ලෙස මෙය ක්‍රමානුකූලව වර්ධනය වීම දැකිය හැකිය.

ඇතැම් අවස්ථාවල ජන සංස්කෘතිය හා ජනප්‍රිය සංස්කෘතිය එකට යෙදෙන පද දෙකක් ලෙසද හදුනාගත හැකිය.

20 වන සියවස වන විට ඇතිව තිබූ තාක්ෂණික දියුණුව හේතුවෙන් සිනමාව, ගුවන් විදුලිය හා රූපවාහිනී වැනි මාධ්‍යන් දැවැන්ත පරිවර්තනයකට ලක් විය. ජනමාධ්‍ය හා මහජන විනෝදාස්වාද මාධ්‍යයන් ජනප්‍රිය සංස්කෘතිය බිහිවීමට හේතුවක් විය. නූතන කලා විචාරකයන්ට අනුව බහුතර ජනතාවකගේ සංස්කෘතිය ජනප්‍රිය සංස්කෘතිය ලෙස හදුනාගත හැකි වේ.

ජනප්‍රිය සංස්කෘතිය බොහෝ විට අදෘශ්‍යමාන දෙයක් වන අතර, අද්‍යතනය වන විට ඒ තුල තොරතුරු සන්නිවේදනයට මූලික ස්ථානයක් හිමිව තිබේ.

ජනප්‍රිය සංස්කෘතිය පහසුවෙන් පරිශීලනය කල හැකි අතර එයට දීර්ඝ කාලීන පැවැත්මක් නොමැත. එය වෙනස්වන සුළුය. එසේ වන්නේ එය නිර්මාණයක් නොව නිෂ්පාදනයක් වන බැවිනි. එමෙන්ම ජනප්‍රිය සංස්කෘතිය ඇසුරු කිරීමට විශේෂ දැනුමක් හෝ බුද්ධි මට්ටමක් අවශ්‍ය නොවේ. මෙහි සදාචාරාත්මක හා කලාත්මක ගුණයන්වල අවම තත්වයක් දක්නට ලැබෙන අතර, බොහෝ විට නිර්මාණත්මක චින්තන යටපත් කර වෙනත් කරුණු ඉස්මතු කරයි.

ජනප්‍රිය සංස්කෘතිය ධනේශ්වර නිෂ්පාදන ක්ෂේත්‍රයේ ව්‍යාපාරයක් බවට පත්ව ඇති අතර, වෙලදපල ක්‍රමය හේතුවෙන් සෞන්දර්‍ය වටිනාකමට අඩු තක්සේරුවක් ලැබී ඇත. මේ වන විට ජනප්‍රිය සංස්කෘතිය කර්මාන්තයක් බවට පත්ව තිබේ. ව්‍යාපාරිකයින් හා සංවිධායකයින් එහි මූලිකත්වය ගෙන කටයුතු කරති. ඔවුන් සාමාන්‍ය බුද්ධි මට්ටමක් ඇති මධ්‍යම ප්‍රමාණයේ නිර්මාණාත්මක හැකියාවක් ඇති මතුපිට දැක්මක් ඇති පිරිසක් වේ.

ජනප්‍රිය සංස්කෘතිය හරහා ජනප්‍රිය කලාවද බිහිව තිබේ. බොහෝ විට නිර්මාණාත්මක චින්තනය යටපත් කර වෙනත් කරුණු ඉස්මතු කරයි. සංස්කෘතික නිර්මාණවල ගුණාත්මක බව තීරණය කරන්නේද ජනමාධ්‍ය විසිනි.


ජනප්‍රිය සංස්කෘතිය තුල අවධානයට ගත යුතු කරුණු කිහිපයකි.

01. නොගැඹුරු වීම

02. සරල වීම

03. මහා පරිමාණිකව නිෂ්පාදනය වීම

04. සියලු දෙනාටම සමීප වීම

සම්භාව්‍ය සංස්කෘතියේ හිගකම වෙනුවට මෙහි අතිරික්තයක් පවතී. මෙහි පාරිභෝගිකයන් පොදු ජනතාව වන බැවින් මෙය පරිහරණය කිරීමට, ඇසුරු කිරීමට ස්ථානයක් හෝ වේලාවක් , විශේෂ ශ්‍රමයක් මුදලක් මෙන්ම විශේෂ බුද්ධිමය හා අධ්‍යාපන මට්ටමක් අවශ්‍ය නොවේ.

මෙම කරුණු ඔස්සේ ජනප්‍රිය සංස්කෘතිය හදුනාගත හැකි අතර තාක්ෂණයේ දියුණුව සමග වඩ වඩාත් පොදු මහජනතාව සමග බැදී තිබෙනු හදුනාගත හැකිය.


ජනප්‍රිය සංස්කෘතියේ මූලික ලක්ෂණ

01. ජනමාධ්‍ය ඔස්සේ ව්‍යාප්ත වේ

02. ව්‍යාපාරික අධිපත්‍ය සමග බැදී පවතී

03. සෑම සමාජ පංතියක්ම ආකර්ෂණය කර ගනී

04. ගතික වේ..කල් පවත්නා බවක් නොමැත.

05. මහා පරිමාණ නිෂ්පාදනයක් හා බෙදා හැරීමක් ඇත.

06. කාලීන තත්ව මත ගොඩ නැගේ.




   

Tuesday, 13 January 2026

 

මාධ්‍ය සාක්ෂරතාවය යනු කුමක්ද?

මුද්‍රිත මාධ්‍ය මෙන්ම විද්‍යුත් මාධ්‍යයන්ගේ වර්ධනයත් සමඟ සාක්ෂරතාවය යන්න අර්ථ දැක්වීම වඩාත් පුළුල් විය.  ඒ අනුව ලිඛිත පමණක් නොව ඕනෑම ආකාරයක සන්නිවේදනයක් ඵලදායක ලෙසත් දක්ෂ ලෙසත් ප්‍රයෝජනයට ගැනීම මාධ්‍ය සාක්ෂරතාවය ලෙස අර්ථ ගන්වන ලදි.  පොදුවේ සලකන්නේ නම් මාධ්‍ය පාරිභෝගිකයින්ට මාධ්‍ය අන්තර්ගතය වටහා ගැනීමට එහි අර්ථ දැනගැනීමට හැකියාව නැතහොත් පහසුකම්  සැකසීම  සිදුවිය  යුතුය.  මාධ්‍ය  සාක්ෂරතාව  යනු   ඵලදායක  ලෙසත්  දක්ෂ   ලෙසත් මාධ්‍ය අන්තර්ගතය වටහා ගැනීම හා ප්‍රයෝජනයට ගැනීමයි.  වර්තමානය වන විට රූපය, ශබ්දය, ආලෝකය හා ඒවා එකිනෙක ගැලපීම තුළ ඒ ඒ මාධ්‍යයන්ට ආවේණික භාෂාවක් නිර්මාණය වී තිබේ.  හඬ මෙන්ම නිහඬ බව ද අර්ථ ප්‍රකාශ කිරීමට යොදා ගනී.  රංගනය, නර්තනය සඳහා වේදිකා පසුතල යොදා ගැනීම, විවිධ මුද්‍රා යොදා ගැනීම, එලිය අඳුර ගැලපීම, කලාවේ භාෂා අංගයන්ය.  චිත්‍ර ශිල්පයේදී වර්ණ හැඩතල භාවිතය සංකේත සහ පර්යාවලෝකය ගැලපීම එහි භාෂාව වේ.  එමෙන්ම එක් එක් මාධ්‍යයන්ගේ මතු පිට අර්ථ මෙන්ම යටි අර්ථ ද පවතී.  මේ සියල්ල වටහා ගැනීමේ හා භාවිතයට ගැනීමේ හැකියාව මාධ්‍ය සාක්ෂරතාවය වේ. මාධ්‍ය සාක්ෂරතාවය යනු කුමක්දැයි වඩාත් හොඳින් විග්‍රහ කරගත හැක්කේ විවිධ විද්වතුන් විසින් ඉදිරිපත් කර ඇති නිර්වචන අධ්‍යයනය කිරීම තුළිනි.

“සන්නිවේදන සංදේශ ලබාගැනීමේත් ප්‍රේෂණය කිරීමේත් විනිශ්චය කිරීමේත් ඇති හැකියාව මාධ්‍ය සාක්ෂරතාවය ලෙස හැඳින්විය හැකිය”.  ( මාධ්‍ය පර්යේෂක ඇලන් රූබින්)

සන්නිවේදනයේ තාක්ෂණික ක්‍රමවේද හා මූලාශ්‍ර හඳුනාගැනීම ඒ සඳහා භාවිතා කරන කේත, ඒවායින් අර්ථ ගන්වන සංදේශ තෝරා ගැනීම, ඒවා අර්ථ දැක්වීම මෙන්ම එකී සංදේශයන්හි බලපෑම පිළිබඳව හඳුනාගැනීම ද මාධ්‍ය සාක්ෂරතාවයට අයත් වන බව ඇලන් රූබින් ප්‍රකාශ කරයි.

“සමාජයේ මාධ්‍ය ක්‍රියාත්මක වන ආකාරය කෙසේද යන්න පිළිබඳව ඇති දැනුම මාධ්‍ය සාක්ෂරතාවය වේ”.                                              (මාධ්‍ය විශාරද පෝල් මැසාරිස්) 

“මාධ්‍ය සාක්ෂරතාව යනු ජනමාධ්‍ය පිළිබඳව වූ දැනුවත් විචාරාත්මක අවබෝධයයි.  එය මාධ්‍යයේ යොදාගෙන ඇති ක්‍රම ශිල්ප කෙරෙහි ද, තාක්ෂණයන් කෙරෙහි ද, මාධ්‍ය නිෂ්පාදන කාර්යයේ යෙදෙන ආයතන පිළිබඳව ද විභාග කර බලයි”.  ( මාධ්‍ය විශ්ලේෂක රින් ෂෙෆර්ඩ්)

“සන්නිවේදනයේදී මුද්‍රිත මෙන්ම නොවන විවිධාකාර මාධ්‍යයන් මඟින් තොරතුරු ලබාගැනීමට ඒවා විග්‍රහ කිරීම, විනිශ්චය කිරීමට සහ සන්නිවේදනය කිරීමට හැකියාව මාධ්‍ය සාක්ෂරතාවයයි” ( ඩේවිඩ් කොන්සිඩින් )

මාධ්‍ය සාක්ෂරතාවය යනු අපට දිනපතා අලෙවි කරනු ලබන දැනුම් දෙන සහ පිනවනු ලබන සංදේශ විග්‍රහ කිරීම සහ පෙරා ගැනීම සඳහා ඇති හැකියාවයි.  එය සියළු මාධ්‍ය සම්බන්ධයෙන් විවේචනාත්මක චින්තනයෙන් යුතුව කටයුතු කිරීමේ හැකියාවයි.  මාධ්‍ය හිමිකාරිත්වය තුළ සැඟවී ඇති උත්තේජනයන් මුදල් සහ හරපද්ධතීන් ඇතුළු නිෂ්පාදනයන් යට සැඟවුණු දෑ ප්‍රශ්ණ කිරීමට පෙළඹ වීමකි.  ඉහත කරුණු සියල්ල සමස්ථය කෙරෙහි බලපාන්නේ කෙසේද යන්න විමසා බැලීමකි. (ජේන් ටාලිම්)

ඇමෙරිකාවේ පරිසර සංස්කෘතික සංසදය 1996 දී සකස් කළ මහජන සන්නිවේදන ප්‍රඥප්තියේ පෙන්වා දෙන්නේ මහජන යහපත උදෙසා අත්‍යන්තයෙන්ම කැපවීමෙන් මාධ්‍ය සාක්ෂරතාවය හඳුනාගත යුතු බවයි.  එමඟින් තවදුරටත් පෙන්වා දෙන්නේ සන්නිවේදනයේදී අත්‍යයන්තයෙන්ම තොරතුරු ලබාගැනීමට මෙන්ම ඒවාට සහභාගි වීමට ද ශක්‍යතා දියුණු කරගැනීමට ද ජනතාවට අයිතියක් ඇත.  එය නියමයක් ලෙස වුවද කියවීමේදී, ලිවීමේදී හා කතන්දර කීමේදී පහසුකම් සලසයි.  එසේම විචාරාත්මක මාධ්‍ය අවබෝධය, පරිගණක සාක්ෂරතාව මෙන්ම සමාජයේ සන්නිවේදන කාර්යයභාරය පිළිබඳ අධ්‍යාපනය ද මාධ්‍ය සාක්ෂරතාවයට අයත් වේ.  විශ්වවිද්‍යාල මහාචාර්යවරුන්, මාධ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීනයන්, වෘත්තීය හා බුද්ධිමතුන්ගේ ජාතික සන්නිවේදන සංගමය 1996 දී ඇමෙරිකාවේ ප්‍රකාශයට පත්කළ මාධ්‍ය සාක්ෂරතා පත්‍රිකාව තුළ පුළුල් විග්‍රහයක් සිදුකර ඇත.  මාධ්‍ය ඔස්සේ විසිරණය වන වචන, රූප, චිත්‍ර සටහන්, ශබ්ද මිශ්‍රව විචක්ෂණයෙන් ද ගැඹුරින් ද සන්නිවේදන ග්‍රාහක හෝ මාධ්‍ය පාරිභෝගික විචාරශීලි සමාජය අවබෝධ කරගනී.  සමකාලීන සමාජයට ගුවන්විදුලිය, රූපවාහිනිය, චිත්‍රපටය, ටෙලිපෝනය, අන්තර්ජාලය පමණක් නොව පරිගණක සාකච්ඡා යන මාධ්‍ය හා සංදේශ වලින් විවිධාකාර බලපෑම් එල්ල කරයි.  එබැවින් වැදගත්ම කාරණය වන්නේ සංදේශකයන් විසින් එක් එක් මාධ්‍ය ස්වලක්ෂණ හඳුනා ගනිමින් මෙම බලපෑම පිළිබඳ අවබෝධයෙන් සංදේශ සකස් කර ගැනීමයි යනුවෙන් එහි සඳහන් වේ.


මාධ්‍ය සාක්ෂරතාවය තුළ අන්තර්ගත ලක්ෂණ

මාධ්‍ය සාක්ෂරතාවය යනු කුමක්දැයි හඳුනාගැනීමේදී එහි අන්තර්ගත ලක්ෂණ නැතහොත් එයට අයත් වන්නාවූ අංග ලක්ෂණ පිළිබඳව ද අවබෝධයක් පැවතිය යුතුය.  ආර්ටි සිල්වර් බ්ලැට් නැමති මාධ්‍ය විශාරදවරයා මාධ්‍ය සාක්ෂරතාවය තුළ ඇති මූලිකාංග කිහිපයක් ඉදිරිපත් කර තිබේ.

1. මාධ්‍ය බලපෑම පිළිබඳ අවබෝධයක් තිබීම.

2. ජනසන්නිවේදන ක්‍රියාවලිය පිළිබඳ අවබෝධයක් තිබීම.

3. මාධ්‍ය සංදේශ වල විවිධ උපක්‍රම විශ්ලේෂණය කිරීමේ හා සාකච්ඡා කිරීමේ අති හැකියාව.

4. ජීවිත වල හා අපගේ සංස්කෘතියේ දැක්මක් ලෙස මාධ්‍ය අන්තර්ගතය අවබෝධ කර ගැනීම.

5. මාධ්‍ය අන්තර්ගතය ඇඟයීම, අවබෝධය හා එයින් තෘප්තිමත් වීමේ ඇති හැකියාව.

6. මාධ්‍ය ක්‍රියාකාරිත්වයේදී ඒවා බැඳී ඇති සමාජ සදාචාරාත්මක හා ආචාර ධර්ම පිළිබඳ අවබෝධය.

7. ඵලදායක නිෂ්පාදන හැකියාව සහ යෝග්‍යතා වර්ධනය.

මාධ්‍ය පරිහරණය කරන ග්‍රාහකයින්ට මාධ්‍ය සංදේශ වටහා ගැනීමට නම් මාධ්‍ය සාක්ෂරතා දැනුම හෝ ඒ පිළිබඳව විවිධාකාරයෙන් සහය වන ශක්‍යතා රැසක් තිබිය යුතුය.  මේවා මාධ්‍ය සාක්ෂරතා නිපුණතා ලෙස හැඳින්වේ.  එක් අතකින් මාධ්‍ය වල නියුතු හා මාධ්‍ය නිෂ්පාදන ක්‍රියාවලියේ යෙදී සිටින්නවුන්ට ද අනෙක් අතින් මාධ්‍ය පාරිභෝගිකයින්ට ද එකසේ වැදගත් වේ.  කිසියම් සංදේශයක් ඵලදායක ලෙසත් නිර්මාණශීලිව සකස් කිරීමටත් නිර්මාණාත්මක හා තාක්ෂණික දැනුමක් නිර්මාපකයාට තිබිය යුතුය.  එමෙන්ම එම නිර්මාණය පරිභෝජනය කරන ග්‍රාහකයාට ද එවැනිම නිපුණතාවයක් තිබිය යුතුය.  පහත දැක්වෙන්නේ මාධ්‍ය සාක්ෂරතාවයක් ඇත්තෙකු තුළ තිබිය යුතු නිපුණතාවයන්ය.

1. අන්තර්ගතය අවබෝධ කරගැනීමටත් භාහිර අවහිරතා වලින් පෙරාගෙන සංදේශය උකහා ගැනීමට අවධානය යොමු කිරීමටත් හැකියාවක් තිබිය යුතුය.

2. සංදේශ තෝරා ගැනීමටත් වඩාත් වැදගත්කමකින් තොර හිස් සංදේශයක් නම් සෘජුවම ඒවා ඉවතලීමටත් හැකියාවක් තිබිය යුතුය.

3. කම්පාදායී සංදේශ වලදී ඒවා සමඟ ගනුදෙනු නොකොට එහි නියම අර්ථය වටහාගත හැකිවීමේ දක්ෂතාව ප්‍රගුණ කර තිබිය යුතුය.

4. මාධ්‍ය අන්තර්ගතයේ සාරවත්බව මත ලබාගත හැකි ඵලය වර්ධනය කරගැනීමට හැකියාවක් තිබිය යුතුය.  වැය කරන කාලය වැඩි අවධානයකින් උත්සාහයකින් සොයාගත යුත්තේ හරවත් ඵලදායී නිර්මාණයක් සඳහායි.

5. මාධ්‍ය භාවිතා කරන ඒවාට ආවේණික හා විශේෂිත රීතීන් හඳුනාගැනීමටත් ඒ පිළිබඳ දැනුමක් තිබීමත් මාධ්‍ය සාක්ෂරතාවය පිළිබඳව ඇති දක්ෂතාවයකි.

6. මූලාශ්‍රය කොතරම් විශ්වාසදායී වුවත් සංදේශ වල අඩංගු කරුණු පිළිබඳව විවේචනාත්මකව සිතීමට හැකියාවක් තිබිය යුතුය.

7. සංදේශ සංකීර්ණත්වය කොතරම් ප්‍රබල වුවද මාධ්‍යයන් භාවිතා කරන අභ්‍යන්තර භාෂාව විවිධ වුවද ඒවායින් සිදුවන බලපෑම පිළිබඳ අවබෝධයක් තිබිය යුතුය.

මාධ්‍ය සාක්ෂරතාවය ප්‍රගුණ කිරීමේ අවශ්‍යතාවය


මාධ්‍ය සාක්ෂරතාවය පිළිබඳව වඩාත් කතාබහට ලක්වූයේ රූපවාහිනිය වේගයෙන් පැතිරීම හා එය ජනප්‍රියතම මාධ්‍ය බවට පත්වීම නිසාය.  එයට හේතුව රූපවාහිනියෙන් විවිධ අංශ වලින් අනෙකුත් මාධ්‍යයන් වලට වඩා දැඩි බලපෑමක් ජනතාවට සිදු කිරීමයි.  රූපවාහිනියේ ඇති ආකර්ෂණීය බව, සජීවී බව හා මාධ්‍යයක් වශයෙන් ජනමෝහනය කිරීමේ ඇති හැකියාව මෙම බලපෑමට වඩාත් හේතු වී තිබේ.  වයස් බේදයකින් හෝ ජාති බේදයකින් හෝ භූගෝලීය ප්‍රභේදයකින් තොරව රූපවාහිනියේ බලපෑමට විවිධ ජන කණ්ඩායම් ගොදුරු වේ.  විශේෂයෙන් රූපවාහිනියට වඩාත් ගොදුරු වන්නේ කුඩා දරුවන් හා කාන්තාවන්ය.  කාන්තාවන්ට අසීමිතව බොලඳ ටෙලිනාට්‍ය පෙන්වීම, ඇමෙරිකාවේ, ශ්‍රී ලංකාවේ, ඉන්දියාවේ පමණක් නොව ඉන්දුනීසියාව, එංගලන්තය සහ අප්‍රිකානු රටවල ද දැකිය හැකි ප්‍රවනතාවයකි.  එමෙන්ම වඩාත් හිංසාකාරී අපරාධ බහුල වඩාත් සංත්‍රාස බහුල වැඩසටහන් නිසා ඇමෙරිකානු පාසල් දරුවන් පිස්තෝල, රයිපල්, සෙල්ලම් බඩු සේ සැහැල්ලු භාණ්ඩයක් ලෙස සැලකීමට උත්සාහ ගනී.  ලොව පුරා නූතනයේ ප්‍රවෘත්ති ලෙස සලකනු ලබන්නේ ලේ ගැලීමක් සහිත පුවත්ය.  මාධ්‍යයන් සැබෑ වගකීමෙන් ඈත්වී ජනයා සංත්‍රාසයෙන් මුසපත් කොට විකෘති මානසික තත්ත්වයන්ට පත්කිරීමට උත්සාහ ගනී.  මෙවැනි තත්ත්වයන් තේරුම් ගැනීමට නම් ජනයා තුළ මාධ්‍ය සාක්ෂරතාවයක් පැවතිය යුතුය.

රූපවාහිනිය, නරඹන මාධ්‍යයකට වඩා, කියවන මාධ්‍යයක් බව විද්වතුන්ගේ අදහසයි.  රූපවාහිනිය කියවීමට ප්‍රමාණවත් භාෂාවක් අප සතු නැත.  සාම්ප්‍රදායික මාධ්‍ය පිළිබඳ කියවීමක් අප සතුව පැවතිය ද එය රූපවාහිනිය කියවීම සඳහා ප්‍රමාණවත් නොවේ.  මෙකී මාධ්‍ය කියවීම සඳහා මාධ්‍ය සාක්ෂරතාව භාෂාවක් බවට පත්වේ.  සාක්ෂරතා පෙල කියවීමට හුරුකිරීම මඟින් රූපවාහිනියේ බොහෝ දෑ වඩාත් සූක්ෂ්ම ලෙස වටහාගත හැකිය.  රූපවාහිනී මාධ්‍ය කියවීම සඳහා අන්තර් විශ්ලේෂණ ක්‍රමය ප්‍රධාන වශයෙන් භාවිතා කළහැකිය.  කිසියම් වැඩසටහනක මතුපිට බලා සිටිනවාට වඩා මාධ්‍ය පිළිබඳ දැනුවත්භාවයකින් වැඩසටහනේ අන්තර්ගතය විමසීම එමඟින් සිදුකළ හැකිය.  ඒ සඳහා මූලික වශයෙන් 

1. ප්‍රකට අන්තර්ගතය 
2. අප්‍රකට අන්තර්ගතය 

යන ක්‍රම දෙක භාවිතයට ගත හැකිය.  බොහෝ දේශපාලනික වැඩසටහන් වල, සෝප් ඔපෙරා වල, ටෙලි නාට්‍ය වල, මෙම ලක්ෂණ දැකිය හැකිය.  ප්‍රකට අන්තර්ගතය යනු සරලව වැටහෙන, පෙනෙන අදහසයි.  අප්‍රකට අන්තර්ගතය යනු ව්‍යංගාර්ථයෙන් මතු කරන අදහසයි.  ජෝර්ජ් ගාබිනර් වැනි විද්වතුන් ප්‍රකාශ කරන්නේ රූපවාහිනිය සත්‍ය ජීවිතය ප්‍රකට කරන අයුරින් නව සංස්කෘතික හා සමාජ අගයන් සංකේතාත්මක ලෙස ව්‍යවහාරයට පත්කර ඇති බවයි.  ඩී ග්ලූ ප්‍රකාශ කරන්නේ රූපවාහිනිය බල අගයක් වන බවයි.  රූපවාහිනියේ ඇති මෙම ස්වභාවයන් තේරුම් ගැනීමට මාධ්‍ය සාක්ෂරතාවය අත්‍යාවශ්‍ය සාධකයකි.  රූපවාහිනිය වැනි මාධ්‍යයක අන්තර්ගත විග්‍රහයකදී පහත කරුණු කෙරෙහි අවධානය යොමු කිරීමෙන් එකී මාධ්‍ය තේරුම් ගත හැකි බව මහාචාර්ය ආරියරත්න ඇතුගල ප්‍රකාශ කරයි.

1. රූපවාහිනිය අපගේ පැවැත්මට ප්‍රදානය කරන්නේ මොනවාද?
2. රූපවාහිනිය වඩා වැදගත් ප්‍රමුඛතාවයක් දෙන්නේ කුමකටද?
3. රූපවාහිනිය ප්‍රදානය කරන්නාවූ දෙයින් අප උකහාගත යුතු අගයන් කවරේද?
4. විවිධ වූ සම්බන්ධතාවයන් ප්‍රකට කරන රූපවාහිනිය තුළින් අප එම සම්බන්ධතා වටහා ගන්නේ කෙසේද?

රූපවාහිනී සංඥා තේරුම් ගැනීමට ද මාධ්‍ය සාක්ෂරතාවය තිබිය යුතුය.  විශේෂයෙන් සංඥාර්ථ වේදය වැනි විධික්‍රම මාධ්‍ය හඳුනාගැනීම සඳහා භාවිතා කළහැකි අතර මාධ්‍ය සාක්ෂරතාවය සහිත ග්‍රාහකයෙකු තුළ සංඥාර්ථ වේදය පිළිබඳ දැනුමක් තිබිය යුතුය.  සංදේශයක රූපය, ශබ්දය, සංඥා සංකේත, වර්ණ, ආලෝකය භාෂාව ආදියෙන් ප්‍රකාශ කරන්නාවූ අර්ථ තේරුම් ගැනීම සඳහා ඇති හැකියාව සංඥාර්ථවේදී දැනුමයි.

අප විසින්ම මාධ්‍ය වලින් අනාවරණය කරගන්නා වූ පර්යාවලෝකනයන් අර්ථ දක්වා ගන්නා වූ ආකාරයට මාධ්‍ය සාක්ෂරතාවය යයි කිව හැකිය.  එම පර්යාවලෝකනයන් මඟින් දැනුම් ආකෘති ගොඩනඟා ගත හැකිය.  පුද්ගලයෙකුගේ මාධ්‍ය සාක්ෂරතා ගුණය වැඩි නම් ඔහුට පුළුල් පර්යාවලෝකනයක් ද පවතී.  පර්යාවලෝකනයක් ඇත්තෙකුගේ විග්‍රහයන් විවිධ මානයන්ගෙන් යුතු වේ.  බොහෝ තේරුම්, අර්ථ, ඔහු ලඟට වහා ගලා ඒ.  ඔහුට ඒවා තෝරා බේරාගත හැකිය.  සාක්ෂරතා ගුණය වැඩි අය යමක් වහා තෝරා ගනී.  වඩාත් ප්‍රයෝජනවත් නිවැරදි දේ තෝරා ගනී.  දුර්වල මාධ්‍ය සාක්ෂරතාවයක් ඇති අයෙකු දුර්වල ග්‍රාහකයෙකි.  ඔහු හෝ ඇය සීමාසහිත පර්යාවලෝකනයක් දරයි.  මෙවැනි මාධ්‍ය කරුවන් ද, ග්‍රාහකයින් ද සිටී.  මාධ්‍ය සාක්ෂරතාවය මඟින් විවිධ පැති ඔස්සේ යමෙකුට සිතීමට ඇති හැකියාව වර්ධනය කරයි.





Saturday, 10 January 2026

නව මාධ්‍ය හදුනාගනිමු.. 


ඩිජිටල් තාක්ෂණය මුසු වූ ජාලමය සම්බන්ධතා සහිත අන්තර් ක්‍රියාකාරී තාක්ෂණයක් ලෙස නව මාධ්‍ය හදුනාගන්න පුලුවන්..මෙය 20 වන සියවසේ අග භාගයේදී නිර්මාණය වුනේ  ඒ කාලය වන විට තාක්ෂණයේ ඇති වූ විසල් දියුණුව සමග.

නව මාධ්‍ය හරහා සක්‍රීය ප්‍රතිපෝෂණයක් ලබා ගත හැකි අතරම නිර්මාණශීලී ලෙස පණිවිඩ සන්නිවේදනය කිරීමේ හැකියාව පවතිනවා.

ආචාර්‍ය ඊසල් නිව්මාන් නම් විද්වතා විසින් නව මාධ්‍ය යනු කුමක්ද යන්න අර්ථ දක්වා තිබෙන්නෙ මෙලෙසයි.

"නව මාධ්‍ය යනු භාවිත කරන්නාගේ අවශ්‍යතාව අනුව අවශ්‍ය ස්ථානයක සිට අවශ්‍ය තොරතුරු සපයා ගත හැකි, භාවිත කරන්නාටද ස්වකීය අදහස් ප්‍රකාශනයට ඉඩ ඇති නිර්මාණශීලී මාධ්‍ය අවකාශයක් ලෙසට සන්නිවේදන කාර්‍ය සදහා භාවිත කරන මාධ්‍ය වේ."

එනම්,ඕනෑම ඩිජිටල් උපකරණයක් භාවිත කරමින් ඔනෑම ස්ථානයක, ඕනෑම වෙලාවක අන්තර් ක්‍රියාකාරී ලෙස ප්‍රතිපෝෂණය සහිතව මෙය ක්‍රියාත්මක කල හැකි බවයි.

අන්තර්ජාලය, ජංගම දුරකතනය, පරිගණකය නව මාධ්‍ය ලෙස හදුන්වා දෙන්න පුලුවන්..

ඊසල් නිව්මන් විද්වතාට අනුව නව මාධ්‍යවල හදුනා ගත හැකි කරුණු කිහිපයක් තිබෙනවා.

එය සන්නිවේදනයේ විශාල වර්ධනයක් වීම  , සන්නිවේදනයේ වේගය ඉහල නංවන්නක් වීම, අන්තර් ක්‍රියාකාරී සන්නිවේදනයක් වීම, මාධ්‍ය එක් කිරීමට දායක් වීම මෙහි ඇති සුවිශේෂීත්වයයි.


නව මාධ්‍ය සතුව තවත් විශේෂතා කිහිපයක් දකින්න පුලුවන්..

01. පරිහරණයට විශේෂ දැනුමක් අවශ්‍ය වීම

02. සාපේක්ෂව වේගවත් බව

03. හිමිකාරිත්වයේ අවිනිශ්චිත බව

04. භූගෝලීය සීමා අතික්‍රමණය කිරීම                                              

05. තොරතුරු නැවත පරිශීලනය කල හැකි වීම

06. පුළුල් විෂය පථයක් ග්‍රහණය කල හැකි වීම

මෙම මාධ්‍ය සතුව දක්නට ලැබෙන විශේෂ ලක්ෂණ කිහිපයක්.


මෙම මාධ්‍යයේ භාවිත භාෂාව පිලිබදව ලක්ෂණ කිහිපයක් පෙන්වා දෙන්න පුලුවන්..

01. භාෂාව සංක්ෂිප්තව යොදා ගැනීම

02. විශේෂ භාෂා සංකේත භාවිතය

03. ලුහුඩු භාෂාව සදහා කෙටි යෙදුම්

04. දේශීය භාෂා ඉංග්‍රීසි අක්ෂර යොදා ලිවීම.

05. ඉංග්‍රීසි භාෂාවට ප්‍රමුඛතාව ලැබීම

06. භාෂා මිශ්‍ර කිරීම

07. පොදු සම්මුතීන් අවම වීම

08.භාෂා රීති නොසලකා හැරීම