My Blog List

Tuesday, 13 January 2026

 

මාධ්‍ය සාක්ෂරතාවය යනු කුමක්ද?

මුද්‍රිත මාධ්‍ය මෙන්ම විද්‍යුත් මාධ්‍යයන්ගේ වර්ධනයත් සමඟ සාක්ෂරතාවය යන්න අර්ථ දැක්වීම වඩාත් පුළුල් විය.  ඒ අනුව ලිඛිත පමණක් නොව ඕනෑම ආකාරයක සන්නිවේදනයක් ඵලදායක ලෙසත් දක්ෂ ලෙසත් ප්‍රයෝජනයට ගැනීම මාධ්‍ය සාක්ෂරතාවය ලෙස අර්ථ ගන්වන ලදි.  පොදුවේ සලකන්නේ නම් මාධ්‍ය පාරිභෝගිකයින්ට මාධ්‍ය අන්තර්ගතය වටහා ගැනීමට එහි අර්ථ දැනගැනීමට හැකියාව නැතහොත් පහසුකම්  සැකසීම  සිදුවිය  යුතුය.  මාධ්‍ය  සාක්ෂරතාව  යනු   ඵලදායක  ලෙසත්  දක්ෂ   ලෙසත් මාධ්‍ය අන්තර්ගතය වටහා ගැනීම හා ප්‍රයෝජනයට ගැනීමයි.  වර්තමානය වන විට රූපය, ශබ්දය, ආලෝකය හා ඒවා එකිනෙක ගැලපීම තුළ ඒ ඒ මාධ්‍යයන්ට ආවේණික භාෂාවක් නිර්මාණය වී තිබේ.  හඬ මෙන්ම නිහඬ බව ද අර්ථ ප්‍රකාශ කිරීමට යොදා ගනී.  රංගනය, නර්තනය සඳහා වේදිකා පසුතල යොදා ගැනීම, විවිධ මුද්‍රා යොදා ගැනීම, එලිය අඳුර ගැලපීම, කලාවේ භාෂා අංගයන්ය.  චිත්‍ර ශිල්පයේදී වර්ණ හැඩතල භාවිතය සංකේත සහ පර්යාවලෝකය ගැලපීම එහි භාෂාව වේ.  එමෙන්ම එක් එක් මාධ්‍යයන්ගේ මතු පිට අර්ථ මෙන්ම යටි අර්ථ ද පවතී.  මේ සියල්ල වටහා ගැනීමේ හා භාවිතයට ගැනීමේ හැකියාව මාධ්‍ය සාක්ෂරතාවය වේ. මාධ්‍ය සාක්ෂරතාවය යනු කුමක්දැයි වඩාත් හොඳින් විග්‍රහ කරගත හැක්කේ විවිධ විද්වතුන් විසින් ඉදිරිපත් කර ඇති නිර්වචන අධ්‍යයනය කිරීම තුළිනි.

“සන්නිවේදන සංදේශ ලබාගැනීමේත් ප්‍රේෂණය කිරීමේත් විනිශ්චය කිරීමේත් ඇති හැකියාව මාධ්‍ය සාක්ෂරතාවය ලෙස හැඳින්විය හැකිය”.  ( මාධ්‍ය පර්යේෂක ඇලන් රූබින්)

සන්නිවේදනයේ තාක්ෂණික ක්‍රමවේද හා මූලාශ්‍ර හඳුනාගැනීම ඒ සඳහා භාවිතා කරන කේත, ඒවායින් අර්ථ ගන්වන සංදේශ තෝරා ගැනීම, ඒවා අර්ථ දැක්වීම මෙන්ම එකී සංදේශයන්හි බලපෑම පිළිබඳව හඳුනාගැනීම ද මාධ්‍ය සාක්ෂරතාවයට අයත් වන බව ඇලන් රූබින් ප්‍රකාශ කරයි.

“සමාජයේ මාධ්‍ය ක්‍රියාත්මක වන ආකාරය කෙසේද යන්න පිළිබඳව ඇති දැනුම මාධ්‍ය සාක්ෂරතාවය වේ”.                                              (මාධ්‍ය විශාරද පෝල් මැසාරිස්) 

“මාධ්‍ය සාක්ෂරතාව යනු ජනමාධ්‍ය පිළිබඳව වූ දැනුවත් විචාරාත්මක අවබෝධයයි.  එය මාධ්‍යයේ යොදාගෙන ඇති ක්‍රම ශිල්ප කෙරෙහි ද, තාක්ෂණයන් කෙරෙහි ද, මාධ්‍ය නිෂ්පාදන කාර්යයේ යෙදෙන ආයතන පිළිබඳව ද විභාග කර බලයි”.  ( මාධ්‍ය විශ්ලේෂක රින් ෂෙෆර්ඩ්)

“සන්නිවේදනයේදී මුද්‍රිත මෙන්ම නොවන විවිධාකාර මාධ්‍යයන් මඟින් තොරතුරු ලබාගැනීමට ඒවා විග්‍රහ කිරීම, විනිශ්චය කිරීමට සහ සන්නිවේදනය කිරීමට හැකියාව මාධ්‍ය සාක්ෂරතාවයයි” ( ඩේවිඩ් කොන්සිඩින් )

මාධ්‍ය සාක්ෂරතාවය යනු අපට දිනපතා අලෙවි කරනු ලබන දැනුම් දෙන සහ පිනවනු ලබන සංදේශ විග්‍රහ කිරීම සහ පෙරා ගැනීම සඳහා ඇති හැකියාවයි.  එය සියළු මාධ්‍ය සම්බන්ධයෙන් විවේචනාත්මක චින්තනයෙන් යුතුව කටයුතු කිරීමේ හැකියාවයි.  මාධ්‍ය හිමිකාරිත්වය තුළ සැඟවී ඇති උත්තේජනයන් මුදල් සහ හරපද්ධතීන් ඇතුළු නිෂ්පාදනයන් යට සැඟවුණු දෑ ප්‍රශ්ණ කිරීමට පෙළඹ වීමකි.  ඉහත කරුණු සියල්ල සමස්ථය කෙරෙහි බලපාන්නේ කෙසේද යන්න විමසා බැලීමකි. (ජේන් ටාලිම්)

ඇමෙරිකාවේ පරිසර සංස්කෘතික සංසදය 1996 දී සකස් කළ මහජන සන්නිවේදන ප්‍රඥප්තියේ පෙන්වා දෙන්නේ මහජන යහපත උදෙසා අත්‍යන්තයෙන්ම කැපවීමෙන් මාධ්‍ය සාක්ෂරතාවය හඳුනාගත යුතු බවයි.  එමඟින් තවදුරටත් පෙන්වා දෙන්නේ සන්නිවේදනයේදී අත්‍යයන්තයෙන්ම තොරතුරු ලබාගැනීමට මෙන්ම ඒවාට සහභාගි වීමට ද ශක්‍යතා දියුණු කරගැනීමට ද ජනතාවට අයිතියක් ඇත.  එය නියමයක් ලෙස වුවද කියවීමේදී, ලිවීමේදී හා කතන්දර කීමේදී පහසුකම් සලසයි.  එසේම විචාරාත්මක මාධ්‍ය අවබෝධය, පරිගණක සාක්ෂරතාව මෙන්ම සමාජයේ සන්නිවේදන කාර්යයභාරය පිළිබඳ අධ්‍යාපනය ද මාධ්‍ය සාක්ෂරතාවයට අයත් වේ.  විශ්වවිද්‍යාල මහාචාර්යවරුන්, මාධ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීනයන්, වෘත්තීය හා බුද්ධිමතුන්ගේ ජාතික සන්නිවේදන සංගමය 1996 දී ඇමෙරිකාවේ ප්‍රකාශයට පත්කළ මාධ්‍ය සාක්ෂරතා පත්‍රිකාව තුළ පුළුල් විග්‍රහයක් සිදුකර ඇත.  මාධ්‍ය ඔස්සේ විසිරණය වන වචන, රූප, චිත්‍ර සටහන්, ශබ්ද මිශ්‍රව විචක්ෂණයෙන් ද ගැඹුරින් ද සන්නිවේදන ග්‍රාහක හෝ මාධ්‍ය පාරිභෝගික විචාරශීලි සමාජය අවබෝධ කරගනී.  සමකාලීන සමාජයට ගුවන්විදුලිය, රූපවාහිනිය, චිත්‍රපටය, ටෙලිපෝනය, අන්තර්ජාලය පමණක් නොව පරිගණක සාකච්ඡා යන මාධ්‍ය හා සංදේශ වලින් විවිධාකාර බලපෑම් එල්ල කරයි.  එබැවින් වැදගත්ම කාරණය වන්නේ සංදේශකයන් විසින් එක් එක් මාධ්‍ය ස්වලක්ෂණ හඳුනා ගනිමින් මෙම බලපෑම පිළිබඳ අවබෝධයෙන් සංදේශ සකස් කර ගැනීමයි යනුවෙන් එහි සඳහන් වේ.


මාධ්‍ය සාක්ෂරතාවය තුළ අන්තර්ගත ලක්ෂණ

මාධ්‍ය සාක්ෂරතාවය යනු කුමක්දැයි හඳුනාගැනීමේදී එහි අන්තර්ගත ලක්ෂණ නැතහොත් එයට අයත් වන්නාවූ අංග ලක්ෂණ පිළිබඳව ද අවබෝධයක් පැවතිය යුතුය.  ආර්ටි සිල්වර් බ්ලැට් නැමති මාධ්‍ය විශාරදවරයා මාධ්‍ය සාක්ෂරතාවය තුළ ඇති මූලිකාංග කිහිපයක් ඉදිරිපත් කර තිබේ.

1. මාධ්‍ය බලපෑම පිළිබඳ අවබෝධයක් තිබීම.

2. ජනසන්නිවේදන ක්‍රියාවලිය පිළිබඳ අවබෝධයක් තිබීම.

3. මාධ්‍ය සංදේශ වල විවිධ උපක්‍රම විශ්ලේෂණය කිරීමේ හා සාකච්ඡා කිරීමේ අති හැකියාව.

4. ජීවිත වල හා අපගේ සංස්කෘතියේ දැක්මක් ලෙස මාධ්‍ය අන්තර්ගතය අවබෝධ කර ගැනීම.

5. මාධ්‍ය අන්තර්ගතය ඇඟයීම, අවබෝධය හා එයින් තෘප්තිමත් වීමේ ඇති හැකියාව.

6. මාධ්‍ය ක්‍රියාකාරිත්වයේදී ඒවා බැඳී ඇති සමාජ සදාචාරාත්මක හා ආචාර ධර්ම පිළිබඳ අවබෝධය.

7. ඵලදායක නිෂ්පාදන හැකියාව සහ යෝග්‍යතා වර්ධනය.

මාධ්‍ය පරිහරණය කරන ග්‍රාහකයින්ට මාධ්‍ය සංදේශ වටහා ගැනීමට නම් මාධ්‍ය සාක්ෂරතා දැනුම හෝ ඒ පිළිබඳව විවිධාකාරයෙන් සහය වන ශක්‍යතා රැසක් තිබිය යුතුය.  මේවා මාධ්‍ය සාක්ෂරතා නිපුණතා ලෙස හැඳින්වේ.  එක් අතකින් මාධ්‍ය වල නියුතු හා මාධ්‍ය නිෂ්පාදන ක්‍රියාවලියේ යෙදී සිටින්නවුන්ට ද අනෙක් අතින් මාධ්‍ය පාරිභෝගිකයින්ට ද එකසේ වැදගත් වේ.  කිසියම් සංදේශයක් ඵලදායක ලෙසත් නිර්මාණශීලිව සකස් කිරීමටත් නිර්මාණාත්මක හා තාක්ෂණික දැනුමක් නිර්මාපකයාට තිබිය යුතුය.  එමෙන්ම එම නිර්මාණය පරිභෝජනය කරන ග්‍රාහකයාට ද එවැනිම නිපුණතාවයක් තිබිය යුතුය.  පහත දැක්වෙන්නේ මාධ්‍ය සාක්ෂරතාවයක් ඇත්තෙකු තුළ තිබිය යුතු නිපුණතාවයන්ය.

1. අන්තර්ගතය අවබෝධ කරගැනීමටත් භාහිර අවහිරතා වලින් පෙරාගෙන සංදේශය උකහා ගැනීමට අවධානය යොමු කිරීමටත් හැකියාවක් තිබිය යුතුය.

2. සංදේශ තෝරා ගැනීමටත් වඩාත් වැදගත්කමකින් තොර හිස් සංදේශයක් නම් සෘජුවම ඒවා ඉවතලීමටත් හැකියාවක් තිබිය යුතුය.

3. කම්පාදායී සංදේශ වලදී ඒවා සමඟ ගනුදෙනු නොකොට එහි නියම අර්ථය වටහාගත හැකිවීමේ දක්ෂතාව ප්‍රගුණ කර තිබිය යුතුය.

4. මාධ්‍ය අන්තර්ගතයේ සාරවත්බව මත ලබාගත හැකි ඵලය වර්ධනය කරගැනීමට හැකියාවක් තිබිය යුතුය.  වැය කරන කාලය වැඩි අවධානයකින් උත්සාහයකින් සොයාගත යුත්තේ හරවත් ඵලදායී නිර්මාණයක් සඳහායි.

5. මාධ්‍ය භාවිතා කරන ඒවාට ආවේණික හා විශේෂිත රීතීන් හඳුනාගැනීමටත් ඒ පිළිබඳ දැනුමක් තිබීමත් මාධ්‍ය සාක්ෂරතාවය පිළිබඳව ඇති දක්ෂතාවයකි.

6. මූලාශ්‍රය කොතරම් විශ්වාසදායී වුවත් සංදේශ වල අඩංගු කරුණු පිළිබඳව විවේචනාත්මකව සිතීමට හැකියාවක් තිබිය යුතුය.

7. සංදේශ සංකීර්ණත්වය කොතරම් ප්‍රබල වුවද මාධ්‍යයන් භාවිතා කරන අභ්‍යන්තර භාෂාව විවිධ වුවද ඒවායින් සිදුවන බලපෑම පිළිබඳ අවබෝධයක් තිබිය යුතුය.

මාධ්‍ය සාක්ෂරතාවය ප්‍රගුණ කිරීමේ අවශ්‍යතාවය


මාධ්‍ය සාක්ෂරතාවය පිළිබඳව වඩාත් කතාබහට ලක්වූයේ රූපවාහිනිය වේගයෙන් පැතිරීම හා එය ජනප්‍රියතම මාධ්‍ය බවට පත්වීම නිසාය.  එයට හේතුව රූපවාහිනියෙන් විවිධ අංශ වලින් අනෙකුත් මාධ්‍යයන් වලට වඩා දැඩි බලපෑමක් ජනතාවට සිදු කිරීමයි.  රූපවාහිනියේ ඇති ආකර්ෂණීය බව, සජීවී බව හා මාධ්‍යයක් වශයෙන් ජනමෝහනය කිරීමේ ඇති හැකියාව මෙම බලපෑමට වඩාත් හේතු වී තිබේ.  වයස් බේදයකින් හෝ ජාති බේදයකින් හෝ භූගෝලීය ප්‍රභේදයකින් තොරව රූපවාහිනියේ බලපෑමට විවිධ ජන කණ්ඩායම් ගොදුරු වේ.  විශේෂයෙන් රූපවාහිනියට වඩාත් ගොදුරු වන්නේ කුඩා දරුවන් හා කාන්තාවන්ය.  කාන්තාවන්ට අසීමිතව බොලඳ ටෙලිනාට්‍ය පෙන්වීම, ඇමෙරිකාවේ, ශ්‍රී ලංකාවේ, ඉන්දියාවේ පමණක් නොව ඉන්දුනීසියාව, එංගලන්තය සහ අප්‍රිකානු රටවල ද දැකිය හැකි ප්‍රවනතාවයකි.  එමෙන්ම වඩාත් හිංසාකාරී අපරාධ බහුල වඩාත් සංත්‍රාස බහුල වැඩසටහන් නිසා ඇමෙරිකානු පාසල් දරුවන් පිස්තෝල, රයිපල්, සෙල්ලම් බඩු සේ සැහැල්ලු භාණ්ඩයක් ලෙස සැලකීමට උත්සාහ ගනී.  ලොව පුරා නූතනයේ ප්‍රවෘත්ති ලෙස සලකනු ලබන්නේ ලේ ගැලීමක් සහිත පුවත්ය.  මාධ්‍යයන් සැබෑ වගකීමෙන් ඈත්වී ජනයා සංත්‍රාසයෙන් මුසපත් කොට විකෘති මානසික තත්ත්වයන්ට පත්කිරීමට උත්සාහ ගනී.  මෙවැනි තත්ත්වයන් තේරුම් ගැනීමට නම් ජනයා තුළ මාධ්‍ය සාක්ෂරතාවයක් පැවතිය යුතුය.

රූපවාහිනිය, නරඹන මාධ්‍යයකට වඩා, කියවන මාධ්‍යයක් බව විද්වතුන්ගේ අදහසයි.  රූපවාහිනිය කියවීමට ප්‍රමාණවත් භාෂාවක් අප සතු නැත.  සාම්ප්‍රදායික මාධ්‍ය පිළිබඳ කියවීමක් අප සතුව පැවතිය ද එය රූපවාහිනිය කියවීම සඳහා ප්‍රමාණවත් නොවේ.  මෙකී මාධ්‍ය කියවීම සඳහා මාධ්‍ය සාක්ෂරතාව භාෂාවක් බවට පත්වේ.  සාක්ෂරතා පෙල කියවීමට හුරුකිරීම මඟින් රූපවාහිනියේ බොහෝ දෑ වඩාත් සූක්ෂ්ම ලෙස වටහාගත හැකිය.  රූපවාහිනී මාධ්‍ය කියවීම සඳහා අන්තර් විශ්ලේෂණ ක්‍රමය ප්‍රධාන වශයෙන් භාවිතා කළහැකිය.  කිසියම් වැඩසටහනක මතුපිට බලා සිටිනවාට වඩා මාධ්‍ය පිළිබඳ දැනුවත්භාවයකින් වැඩසටහනේ අන්තර්ගතය විමසීම එමඟින් සිදුකළ හැකිය.  ඒ සඳහා මූලික වශයෙන් 

1. ප්‍රකට අන්තර්ගතය 
2. අප්‍රකට අන්තර්ගතය 

යන ක්‍රම දෙක භාවිතයට ගත හැකිය.  බොහෝ දේශපාලනික වැඩසටහන් වල, සෝප් ඔපෙරා වල, ටෙලි නාට්‍ය වල, මෙම ලක්ෂණ දැකිය හැකිය.  ප්‍රකට අන්තර්ගතය යනු සරලව වැටහෙන, පෙනෙන අදහසයි.  අප්‍රකට අන්තර්ගතය යනු ව්‍යංගාර්ථයෙන් මතු කරන අදහසයි.  ජෝර්ජ් ගාබිනර් වැනි විද්වතුන් ප්‍රකාශ කරන්නේ රූපවාහිනිය සත්‍ය ජීවිතය ප්‍රකට කරන අයුරින් නව සංස්කෘතික හා සමාජ අගයන් සංකේතාත්මක ලෙස ව්‍යවහාරයට පත්කර ඇති බවයි.  ඩී ග්ලූ ප්‍රකාශ කරන්නේ රූපවාහිනිය බල අගයක් වන බවයි.  රූපවාහිනියේ ඇති මෙම ස්වභාවයන් තේරුම් ගැනීමට මාධ්‍ය සාක්ෂරතාවය අත්‍යාවශ්‍ය සාධකයකි.  රූපවාහිනිය වැනි මාධ්‍යයක අන්තර්ගත විග්‍රහයකදී පහත කරුණු කෙරෙහි අවධානය යොමු කිරීමෙන් එකී මාධ්‍ය තේරුම් ගත හැකි බව මහාචාර්ය ආරියරත්න ඇතුගල ප්‍රකාශ කරයි.

1. රූපවාහිනිය අපගේ පැවැත්මට ප්‍රදානය කරන්නේ මොනවාද?
2. රූපවාහිනිය වඩා වැදගත් ප්‍රමුඛතාවයක් දෙන්නේ කුමකටද?
3. රූපවාහිනිය ප්‍රදානය කරන්නාවූ දෙයින් අප උකහාගත යුතු අගයන් කවරේද?
4. විවිධ වූ සම්බන්ධතාවයන් ප්‍රකට කරන රූපවාහිනිය තුළින් අප එම සම්බන්ධතා වටහා ගන්නේ කෙසේද?

රූපවාහිනී සංඥා තේරුම් ගැනීමට ද මාධ්‍ය සාක්ෂරතාවය තිබිය යුතුය.  විශේෂයෙන් සංඥාර්ථ වේදය වැනි විධික්‍රම මාධ්‍ය හඳුනාගැනීම සඳහා භාවිතා කළහැකි අතර මාධ්‍ය සාක්ෂරතාවය සහිත ග්‍රාහකයෙකු තුළ සංඥාර්ථ වේදය පිළිබඳ දැනුමක් තිබිය යුතුය.  සංදේශයක රූපය, ශබ්දය, සංඥා සංකේත, වර්ණ, ආලෝකය භාෂාව ආදියෙන් ප්‍රකාශ කරන්නාවූ අර්ථ තේරුම් ගැනීම සඳහා ඇති හැකියාව සංඥාර්ථවේදී දැනුමයි.

අප විසින්ම මාධ්‍ය වලින් අනාවරණය කරගන්නා වූ පර්යාවලෝකනයන් අර්ථ දක්වා ගන්නා වූ ආකාරයට මාධ්‍ය සාක්ෂරතාවය යයි කිව හැකිය.  එම පර්යාවලෝකනයන් මඟින් දැනුම් ආකෘති ගොඩනඟා ගත හැකිය.  පුද්ගලයෙකුගේ මාධ්‍ය සාක්ෂරතා ගුණය වැඩි නම් ඔහුට පුළුල් පර්යාවලෝකනයක් ද පවතී.  පර්යාවලෝකනයක් ඇත්තෙකුගේ විග්‍රහයන් විවිධ මානයන්ගෙන් යුතු වේ.  බොහෝ තේරුම්, අර්ථ, ඔහු ලඟට වහා ගලා ඒ.  ඔහුට ඒවා තෝරා බේරාගත හැකිය.  සාක්ෂරතා ගුණය වැඩි අය යමක් වහා තෝරා ගනී.  වඩාත් ප්‍රයෝජනවත් නිවැරදි දේ තෝරා ගනී.  දුර්වල මාධ්‍ය සාක්ෂරතාවයක් ඇති අයෙකු දුර්වල ග්‍රාහකයෙකි.  ඔහු හෝ ඇය සීමාසහිත පර්යාවලෝකනයක් දරයි.  මෙවැනි මාධ්‍ය කරුවන් ද, ග්‍රාහකයින් ද සිටී.  මාධ්‍ය සාක්ෂරතාවය මඟින් විවිධ පැති ඔස්සේ යමෙකුට සිතීමට ඇති හැකියාව වර්ධනය කරයි.





5 comments: