ජන සන්නිවේදන ක්‍රියාවලියේ පවතින සංකීර්ණ ස්වභාවය හේතුවෙන් විවිධ වූ සන්නිවේදන ආචාර්යවරුන් විසින් ජන සන්නිවේදන ක්‍රියාවලිය සරලාකාරයෙන් හුවා දැක්වීමට විවිධ වූ සන්නිවේදන ආකෘති ඉදිරිපත් කරන ලදි. ඒ අතුරෙන් රේ. එල්ඩන් හයිබර්ට්, ඩොනල්ඩ් ආර්. අන්ගුරේට් සහ තෝමස් ඩබ්. බොන් යන විද්වතුන් තිදෙනා විසින් ඉදිරිපත් කරන ලද ආකෘතිය සුවිශේෂී ස්ථානයක් ගනියි. ජන සන්නිවේදනය පිළිබඳ ව ඉදිරිපත් වී ඇති මෙම ආකෘතිය නම් කරනුයේ උක්ත විද්වතුන් තිදෙනාගේ නාමයන්ගේ අකුරු මගිනි. ඒ අනුව මෙම ආකෘතිය HUB ආකෘතිය වශයෙන් හඳුන්වනු ලබයි.ජන සන්නිවේදන ක්‍රියාවලිය එක් තැනකින් ආරම්භ වී ගොස් ප්‍රතිපෝෂණය ලෙස ආපසු හැරී එන ආකාරය මෙම ආකෘති මගින් විග්‍රහ කෙරේ.
එහිදී මෙම ආකෘතිය මගින් ජන සන්නිවේදන ක්‍රියාවලියට සම්බන්ධ වන විවිධ ප්‍රධාන අංග පිළිබඳ විග්‍රහ කර ඇත.එහි ප්‍රධාන අංග 8ක් හදුනා ගත හැකිය.
01. සන්නිවේදකයෝ (Communicators)
02. කේත (Codes)
03. දොරටුපාලකයෝ (Gatekeepers)
04. ජනමාධ්‍ය (Mass Media)
05. නියාමකයෝ (Regulators)
06. පෙරහනු (Filters)
07. ග්‍රාහක ක්ෂේත්‍ර (Audience)
08. බලපෑම් (Effects)
.එමෙන්ම ජන සන්නිවේදන ක්‍රියාවලියේ දී ඇති වන ප්‍රතිපෝෂණය, මාධ්‍ය විස්තාරණය සහ මාධ්‍ය විකෘතිය සහ ඝෝෂාව වැනි කරුණු පිළිබඳ ව ද මෙම ආකෘතියෙහි දක්වා ඇත.
01. සන්නිවේදකයෝ (Communicators)
තවත් පාර්ශවයක් සමඟ තොරතුරු, අදහස්, මත, ආකල්ප හුවමාරු කර ගන්නා තැනැත්තා සන්නිවේදකයා වශයෙන් හැඳින්විය හැකිය. සන්නිවේදකයාගේ මූලික කාර්ය වන්නේ ග්‍රාහකයා සමඟ සන්දේශය හුවමාරු කර ගැනීමයි. ජන සන්නිවේදන ක්‍රියාවලියේ විශාල ග්‍රාහක පිරිසකට සන්දේශ ගෙන යාමේ ක්‍රියාවලියේ දී සන්දේශය නිර්මාණය කිරීම උදෙසා විශාල පිරිසක් දායක වෙයි. එබැවින් එම සියලු පාර්ශව ‘සන්නිවේදකයෝ’ යන පෘථුල අර්ථයෙන් හඳුන්වනු ලබයි. මෙහි දී සමාජයේ විවිධ තරාතිරම්වල පුද්ගලයන් මෙන් ම ආයතන ද සන්නිවේදකයාගේ භූමිකාව ක්‍රියාත්මක කළ හැකි ය. මාධ්‍ය ආයතනයක් වශයෙන් ගත් විට මාධ්‍ය ආයතනයේ සිටින වාර්තාකරුවන් , සංස්කාරක මණ්ඩලය, ඡායාරූප ශිල්පීන්, සෝදුපත් බලන්නන්, සංස්කරණ ශිල්පීන්, පිටපත් රචකයින්, කළමනාකරුවන්, නිවේදන ශිල්පීන්, මුද්‍රණ ශිල්පීන් ආදී සියල්ලන් ම ජන සන්නිවේදකයාගේ භූමිකාවේ දී සුවිශේෂී කාර්යක නියැළෙන පුද්ගලයින් ය. මෙම සියලු ම පිරිස් විසින් ජනමාධ්‍ය හරහා ග්‍රාහකයා වෙත පැමිණෙන සන්දේශය නිර්මාණය කිරීමට දායක වෙයි. උදාහරණයක් වශයෙන් පුවත්පත් ආයතනයක් ගත් විට එම ආයතනයේ සේවය කරන ප්‍රාදේශීය මාධ්‍යවේදීන්, මාණ්ඩලික වාර්තාකරුවන්, කතුවරුන්, සංස්කරණ ශිල්පීන්, මාධ්‍ය හිමිකරුවන් ආදිය පෙන්වා දිය හැකිය.
02. කේත (Codes)
කේත යනුවෙන් මෙහි දී අදහස් කරනු ලබන්නේ සන්නිවේදනය සඳහා යොදා ගනු ලබන විවිධ සංඥා පද්ධතීන්ය. එය සෑමවිටම වෙනත් දෙයක් වෙනුවෙන් පෙනී සිටී. සාමාන්‍ය සන්නිවේදන ක්‍රියාවලියේ දී මෙන් ම ජන සන්නිවේදන ක්‍රියාවලියේ දී ද ජන සන්නිවේදකයා විසින් සන්නිවේදනය උදෙසා කේත භාවිත කිරීම සිදු කරයි. කේත භාවිතයෙන් සම්පාදනය වන සන්දේශය ග්‍රාහකයා විසින් ඉදිරිපත් කිරීමෙන් අනතුරු ව ග්‍රාහකයා විසින් එම කේත විකේතකරණයට ලක් කොට සන්දේශයේ අර්ථය ග්‍රහණය කර ගනියි.යම් වස්තුවක්, පුද්ගල නාමයක්, පින්තූරයක් ආදී ඕනෑම දෙයක් කේත ලෙස සැලකේ.උදාහරණයක් වශයෙන් පුවත්පත් මාධ්‍යයේ දී අදාළ සන්දේශය ග්‍රාහකයා වෙත ගෙන යාමට යොදා ගන්නේ ප්‍රධාන කේත වර්ගයන් දෙකකි. එනම්, රූපය සහ පෙළයි. පුවත්පතේ රූපය යන්නට ඡායාරූප, සිතියම්, කාටූන්, විවිධ හැඩතල, ග්‍රැෆික් නිර්මාණ, විවිධ අලංකාර ක්‍රම සහ වර්ණ භාවිතය ආදිය පෙන්වා දිය හැකිය.ජන සන්නිවේදකයා විසින් සන්දේශයට ගැළපෙන ආකාරයෙන් කේත භාවිත කරමින් සන්දේශය ගොඩනඟනු ලබයි. අනතුරු ව ග්‍රාහක ක්ෂේත්‍රය විසින් කේත ආශ්‍රයෙන් ගොඩනැඟුණු සන්දේශය ග්‍රහණය කර ගැනීම සිදු කරයි. එබැවින් ග්‍රාහක ක්ෂේත්‍රයට ගැළපෙන ආකාරයෙන් කේත භාවිත කිරීමට ජන සන්නිවේදකයා විසින් වග බලා ගත යුතුය.
03. දොරටුපාලකයෝ (Gatekeepers)
දොරටුපාලකයෝ යනු කුමක් සන්නිවේදනය කරන්නේ ද යන්නත් එය සන්නිවේදනය කරන්නේ කෙසේ ද යන්නත් පිළිබඳ තීරණ ගන්නා පුද්ගලයෝ ය. දොරටුපාල ක්‍රියාව නිසා මාධ්‍ය සන්දේශ වාරණයට ලක් වේ. ජනමාධ්‍යයෙන් තොරව ජන සන්නිවේදනයක් සිදුවන්නේ නැත.එහි යථාර්ථය පෙන්නුම් කරන සංකල්පයක් වන්නේ දොරටුපාලක ක්‍රියාවලියයි. එනම් ජනමාධ්‍ය තුලින් තොරතුරු ගලායාම පාලනය කිරීමයි.
ජන මාධ්‍යයට ඇති සාමාජීය වගකීම, මාධ්‍ය ආයතනයේ අරමුණු, පවත්නා සාමාජීය තත්ත්වය ආදි විවිධ හේතූන් මත මේ ආකාරයෙන් දොරටුපාල සංකල්පය ක්‍රියාත්මක විය හැකි ය.යම්කිසි මාධ්‍ය ආයතනයක මාධ්‍ය හිමිකරුවා, සංස්කාරකවරයා, ප්‍රධාන කර්තෘ ආදීන් දොරටුපාලක ක්‍රියාවලියේ යෙදෙන අය සඳහා උදාහරණ වේ.සෑම ජනමාධ්‍ය ආයතනයක ම විශාල දොරටුපාලකයින් සංඛ්‍යාවක් සිටිති. දොටුපාලන ක්‍රියාවලිය සිදු විය යුත්තේ ග්‍රාහකයාගේ යහපත වෙනුවෙනි. වර්තමාන ජනමාධ්‍ය තුළ දී දොරටුපාලන ක්‍රියාවලිය විවිධ අරමුණු වෙනුවෙන් ක්‍රියාත්මක වන ආකාරය නිරූපණය වෙයි.
04. ජනමාධ්‍ය (Mass Media)
ජනමාධ්‍යයන්ගෙන් තොර ව ජන සන්නිවේදනයක් සිදු නො වේ. ජනමාධ්‍ය යනු සන්දේශයක් යවනු ලබන හුදු යාන්ත්‍රික ක්‍රියාවලියක් නොවේ. ජනමාධ්‍ය යනු ජනතාව එයින් බලාපොරොත්තු වන කාර්යයන් ඉටු කිරීමෙහි ලා නිර්මාණය වූ සමාජ ආයතනයන් ය. ජනමාධ්‍ය වශයෙන් මෙහිදි අර්ථ ගැන්වෙන්නේ පුවත්පත, ගුවන්විදුලිය සහ රූපවාහිනි මාධ්‍යයි. මෙම ජනමාධ්‍ය ආයතනික ස්වභාවයක් ගනු ලබයි. එනම්, නිශ්චිත පාලන අධිකාරියක්, නිශ්චිත ස්ථානයක් ආදීය පවතී. එසේම ජනමාධ්‍ය යනු යන්ත්‍රයක් නොව එය ජනතාව විසින් පවත්වාගෙන යන සමාජ ආයතනයකි. ජනතාව විසින් ජනමාධ්‍යයෙන් විවිධ වූ දේවල් බලාපොරොත්තු වෙයි. එම බලාපොරොත්තු සාක්ෂාත් කිරීම ජනමාධ්‍යයේ වඟකීම වේ. ජනමාධ්‍ය ආයතනයන්ගේ පැවැත්මට සන්නිවේදකයින් මෙන් ම ජනතාව ද අවශ්‍ය වෙයි. එබැවින් ජනමාධ්‍යයට ජනතාවගෙන් තොර පැවැත්මක් නොමැත.
05. නියාමකයෝ (Regulators)
ඍජු ව ම මාධ්‍ය ආයතන හා සම්බන්ධ නො වුණ ද මාධ්‍ය කටයුතු හා සම්බන්ධ වූ ඒවා පාලනය කරන ආයතන හා පුද්ගලයෝ සිටිති.ජන සන්නිවේදන ක්‍රියාවලියේ දී සන්දේශ පාලනය කරනු ලබන තවත් පාර්ශවයක් වන්නේ නියාමකයින් ය.ඔවුන් පනවන රෙගුලාසි නිසා සන්දේශවල කිසියම් පාලනයක් සිදු වේ. නිදසුනක් ලෙස රාජ්‍ය කොමිෂන් සභා, උසාවි, වෘත්තීය සංවිධාන, පාරිභෝගිකයන් සහ බලපෑම් කණ්ඩායම් යන ආදි අය විවිධාකාරයෙන් මෙම නියාමන කාර්යය හා සම්බන්ධ වේ.ලෝකයේ සමහර රටවල ජනමාධ්‍ය නාලිකාවන් මෙන් ම මාධ්‍ය ආයතන සඳහා බලපෑම් කරන දැන්වීම් ආයතන ද බහුජාතික සමාගම් ද නියාමකයන් ලෙස සැලකිය හැකි ය. ජන සන්නිවේදන ක්‍රියාවලියේ දී සන්දේශ පාලනය කිරීමට දොරටුපාලකයින් සහ නියාමකයන් වශයෙන් පාර්ශව දෙකක් සහභාගී වේ. දොරටුපාලකයින් ජනමාධ්‍ය ආයතනය තුළ සිටිමින් සන්දේශ පාලනයට සහභාගී වන අතර නියාමකයින් ජනමාධ්‍ය ආයතනයට බාහිරින් සිට සන්දේශ පාලනය කිරීම සිදු කරයි. නමුත් දොරටුපාලකයින් සහ නියාමකයන්ගේ කාර්යන් දෙක ම එක සමාන ය.නියාමකයින් සඳහා උදාහරණ වශයෙන් වෘත්තීය සංවිධාන පෙන්වා දිය හැකිය. ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය එවැනි වෘත්තීය සංවිධානයකි. මෙම වෘත්තීකයින් විසින් එම වෘත්තීයට අදාළ ආචාරධර්ම සහ නීති ආදිය නිර්මාණය කර ගනියි. එම ආචාරධර්ම සහ අණපනත් අනුවයමින් ජනමාධ්‍ය ආයතන විසින් තමන්ගේ සන්දේශ පාලනය කිරීම සිදු කරයි. ඉන් පෙනී යන්නේ ඍජුව ම මාධ්‍ය ආයතන හා සම්බන්ධ නොවෙමින් මාධ්‍ය සන්දේශ පාලනය කිරීමට නියාමකයින් කටයුතු කරන බවයි.
06. පෙරහනු (Filters)
ජනමාධ්‍ය සන්දේශ අවබෝධ කර ගැනීමට, පිළිගැනීමට, ප්‍රතික්ෂේප කිරීමට හෝ මතක තබා ගැනීමට ග්‍රාහක ක්ෂේත්‍රයේ සාමාජිකයන් යොදා ගනු ලබන ඔවුන් සතු අත්දැකීම් පසුතලය පෙරහන් යනුවෙන් අදහස් වේ. සන්නිවේදකයා විසින් ග්‍රාහක ක්ෂේත්‍රය වෙත ලබා දෙන සන්දේශය පිළිගැනීම හෝ ප්‍රතික්ෂේප කිරීම සිදු කරන්නේ ග්‍රාහක ක්ෂේත්‍රය තුළ පවතින අත්දැකීම් පසුතලය මත ය. ජනමාධ්‍ය මගින් ගෙන එන සන්දේශ එක එල්ලේ ම ග්‍රාහකයන් විසින් පිළිගන්නේ නැත. ඔවුන් විසින් අදාළ සන්දේශය තමන්ගේ අත්දැකීම් පසුතලය මත තබමින් ගළපා ගනිමින් තමන්ගේ අත්දැකීම් පසුතලය මත එම සන්දේශය පිළිගැනීම හෝ ප්‍රතික්ෂේප කිරීම පෙරහන් වශයෙන් හැඳින්විය හැකිය. ඇතැම් විට පෙරහන් බාධකයන්ගේ කාර්යයේ ද නියැළෙයි. එනම්, සමාජයේ දිවිගෙවන පුද්ගලයින්ගේ සමාජ මට්ටම වෙනස් ය. ආගම, කුලය, රැකියාව, සමාජ පන්ති යනාදිය එම විෂමතා වශයෙන් පෙන්වා දිය හැකිය. ඒ අනුව සංදේශ කිසියම් පෙරීමකට ලක් වේ.
07. ග්‍රාහක ක්ෂේත්‍ර (Audience)
ජන සන්නිවේදන ග්‍රාහකයන් පිරිස විෂම ජාතීය, සාපේක්ෂ ව විශාල වූ, එකිනෙකා නොහඳුනන, ශාරිරික ව හා භාවාත්මක ව ජන සන්නිවේදකයාගෙන් සහ ග්‍රාහක ක්ෂේත්‍රයේ සාමාජිකයන්ගෙන් වෙන් වූ පිරිසකගේ එකතුවකි.එමෙන්ම ජනමාධ්‍යවලට හසු වන ග්‍රාහක කණ්ඩායම ඉතා විශාල වූවකි. ජල තටාකයක දිය රැළි ආරම්භයේ දී සුළු ප්‍රමාණයකින් ආරම්භ වුව ද, අවසානයේ දී විශාල ප්‍රදේශයකට විසිර යන්නා සේ ජනමාධ්‍යවලට හසුවන ග්‍රාහක කණ්ඩායම ද පුළුල් වේ. නූතන සමාජය අධික ලෙස මාධ්‍ය ග්‍රහණයට හසු වූවකි. එබැවින් එකිනෙකින් ලැබෙන තොරතුරු ප්‍රමාණය ද විශාල ය.
08. බලපෑම් (Effects)
ජන සන්නිවේදන ක්‍රියාවලියේ දී ජන සන්නිවේදකයා විසින් ග්‍රාහකයින් වෙත ලබා දෙන සන්දේශය තුළින් ග්‍රාහකයින් තුළ සිදු කිරීමට බලාපොරොත්තු වෙනස බලපෑම වශයෙන් හැඳින්විය හැකිය. සෑම සන්නිවේදන ක්‍රියාවලියක දීම සන්නිවේදකයා විසින් අපේක්ෂා කරන්නේ යම් සන්දේශයක් තුළින් ග්‍රාහකයා තුළ වෙනසක් නැතිනම් බලපෑමක් සිදු කිරීමටයි.ජන සන්නිවේදනයේ දී ග්‍රාහකයා වෙත ගමන් කරන සන්දේශය පුවත්පත් ලිපියක්, ටෙලිනාට්‍යයක්, දැන්වීමක්, ගුවන්විදුලි මාධ්‍යයේ වැඩසටහනක්, ගුවන්විදුලි නාට්‍යයක් විය හැකිය. ජන සන්නිවේදකයා විසින් මෙම කවර හෝ සන්දේශයක් තුළින් සිදු කරන්නේ ග්‍රාහකයින් තුළ වෙනසක් ඇති කිරීමයි. මෙහි දී බලපෑම යන්න දෙයාකාර වේ.එනම් සමාජය කෙරෙහි බලපෑම හා පුද්ගලයා කෙරෙහි බලපෑම වශයෙනි.
09. ප්‍රතිපෝෂණය (Feedback)
සන්නිවේදකයා විසින් සන්දේශය ග්‍රාහකයා වෙත ලබා දීමෙන් අනතුරු ව ග්‍රාහකයා විසින් සන්නිවේදකයාට ලබා දෙන නිරීක්ෂණය කළ හැකි ආකාරයේ ප්‍රතිචාරය ප්‍රතිපෝෂණය වශයෙන් හැඳින්විය හැකිය.මෙම ප්‍රතිපෝෂණය එසැනින් ලැබෙන්නා වූ ප්‍රතිචාරය, තරමක් පසු වී ලැබෙන ප්‍රතිචාර වශයෙන් ආකාර 2කට බෙදා දැක්විය හැකිය.
10. මාධ්‍ය විකෘතිය සහ ඝෝෂාව (Media distortion and noise)
ජන සන්නිවේදන ක්‍රියාවලියේ දී මාධ්‍ය විකෘතිය හා බාධක තත්ත්වයන් ඇති වීමට වැඩි ඉඩකඩක් ඇත. බාධක තත්ත්වයන් ජනමාධ්‍යයන්ගේ විවිධත්වය අනුව විවිධකාර විය හැකි ය. විශේෂයෙන්ම මාධ්‍ය බාධා හා අර්ථ බාධා මෙහිදී එල්ල විය හැක.
11. මාධ්‍ය විස්තාරණය (Media Amplification)
යම් දෙයක් පිළිබද මාධ්‍ය වැඩි අවධානය යොමු කරයි නම් එය විස්තාරණය ලෙස හදුනාගත හැකිය. එය පුද්ගලයෙක් හෝ යම් සිද්ධියක් විය හැක. ඇතැම් කාලවලදී එවැනි සිදුවීම් මාධ්‍යයට ලැබෙයි. (පාස්කු බෝම්බ ප්‍රහාරය)
.
❤️
ReplyDelete🌚♥️🌚♥️🌚♥️
ReplyDelete👍♥️👍
ReplyDeleteGood ♥️👍
ReplyDeleteNice ❤️
ReplyDelete👍👍
ReplyDelete❤️
ReplyDelete