My Blog List

Friday, 9 January 2026

 ඩිජිටල්කරණය යනු කුමක්ද? 


                                

ඩිජිටල් තාක්ශණය එසේ නොමැතිනම් පරිගණක, අන්තර්ජාලය සහ වෙනත් තාක්ශණයන් උපයෝගී කර ගනිමින් මිනිසාට අවශ්‍ය කටුතු ඉතා ඉක්මණින්, පහසුවෙන් සහ කාර්යක්ෂමව සිදුකර ගැනීම සඳහා අවශ්‍ය පද්ධතීන් නිර්මාණය කර ගැනීමේ ක්‍රියාවලිය ඩිජිටල්කරණයයි. මෙය ඉතා සීඝ්‍රයෙන් දියුණු වන ක්ෂේත්‍රයකි.

උදාහරණයක් ලෙස වර්තමානයේ ජිවත්වන අප විශාල පිරිසක් ලිපි ලිවිම වෙනුවට පණිවිඩ හුවමාරුව සඳහා WhatsApp භාවිත කරයි. බැංකුවට යනවා වෙනුවට Online App එකක් හරහා බැංකු කටයුතු කරගනී. කෑම ගැනීමට අවන්හලකට යනවා වෙනුවට Uber/PickMe වැනි App භවිතා කරමින් නිවසට කෑම ගෙන්වා ගනී. Online ක්‍රමයට බිල්පත් ගෙවීම් කරගනී. විභාග ප්‍රතිඵල ලේඛනය පාසලට එනතුරු නොසිට, විභාග ප්‍රතිඵල Online මාර්ගයෙන් බලාගනී. වාර්ෂික වාහන අදායම් බලපත්‍රය Online ක්‍රමයෙන් ලබාගත හැකිය. වෛද්‍යවරුන් චැනල් කිරීම Online ක්‍රමයට කර ගනී.

මෙවන් උදාහරණයන් විශාල ප්‍රමාණයක් ඇති අතර මෙය කියවන ඔබ දවස ගෙවන ආකාරය සිහිකර ගතහොත්, කොතරම් දුරකට ඔබ ඩිජිටල්කරණය භාවිතා කරනවාද යන්න තේරුම් ගත හැකිය.  

Digitalization සහ Digitization අතර වෙනස කුමක්ද?

                                
    


ඉහත සඳහන් කළේ ඩිජිටල්කරණය යනු කුමක්ද යන්නයි. නමුත් කිසියම් ආයතනයක හෝ රාජ්‍ය සේවාවන් ඩිජිටල්කරණය කිරීමට පෙර පොත්පත් සහ ලිපිවල ඇති තොරතුරු, ලේඛන පරිගණක පද්ධතියට එක්කර ගත යුතුය. උදාහරණයක් ලෙස උප්පැන්න හෝ මරණ ලියාපදිංචි කිරීමේ සහතික Online ලබාගත යුතු නම් මේ වනවිටත් පොත්වල ඇති එම තොරතුරු පරිගණක ගතකළ යුතුව ඇත. එහි පහසුම ක්‍රමය එම ලේඛන ස්කෑන් කර පරිගණක පද්ධතියට ඇතුළත් කර ගැනීමයි. එම ක්‍රියාවලිය Digitization ලෙස හඳුන්වයි. 

ඩිජිටල් හැඳුනුම්පතක් යනු කුමක්ද?




අප සාමාන්‍යයෙන් එදිනෙදා වැඩකටයුතු කිරීමේදී අනන්‍යතාවය තහවුරු කිරීමට සිදුවන අවස්ථා බොහොමයක්ය. 

උදාහරණයක් ලෙස බැංකු ගිණුමක් විවෘත කිරීම ගනිමු. ඔබ කව්ද යන්න මේ නම සඳහන් පුද්ගලයා ඔබම යන්න බව තහවුරු කිරීමට ජාතික හැඳුනුම්පත, විදේශ ගමන් බලපත්‍රය හෝ වෙනත් නීතියෙන් තහවුරු කළ හැකි හැඳුනුම්පතක් ඉදිරිපත් කළ යුතුය. 

ඔබ නැවත බැංකුවෙන් මුදල් ලබා ගැනීමට ගියහොත් ඔබගේ අනන්‍යතාව තහවුරු කිරීමට නැවතත් හැඳුනුම්පත ඉදිරිපත් කළ යුතුය. ඔබ ගිණුම විවෘත කරන අවස්ථාවේ ලබාදුන් හැඳුනුම්පතේ විස්තරත් සමඟ එය සසඳා කරුණු දෙකක් තහවුරු කර ගනී. ඡායාරූපය සසඳා බලා, එනම් මේ හැඳුනුම්පත රැගෙන ආවේ එහි අයිතිකරුමද? සහ එසේනම් මෙම ගිණුම විවෘත කර ඇත්තේ ඔහු විසින්මද?

ඔබට ටෙලර් යන්ත්‍රයකින් මුදල් ලබා ගැනීමට කාඩ්පතක් දෙනවිට එහි PIN අංකයක් ලබා දේ. එම කාඩ්පත භාවිතයේදී කිසිවකු ඔබේ හැඳුනුම්පත පරීක්ෂා නොකරන අතර ඔබට ලබාදුන් PIN අංකය විශ්වාස කරයි. ඒ සමඟම ගිණුමෙන් මුදල් ලබා ගැනීමේදී ජංගම දුරකථනයට කෙටි පණිවිඩයක් ලබා දෙන්නේ අක්‍රමිකතාවයක් ඇති වුවහොහොත් ඔබට ඉක්මණින් ක්‍රියාත්මක වීමටයි.

තවත් උදාහරණයක් නම් ඔබට මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට හැඳුම්පත් පෙන්වා අනන්‍යතාව තහවුරු කළ යුතුය. ඒ අප මෙතෙක් දන්නා සාමාන්‍ය භෞතික හැඳුනුම්පතයි.

නමුත් අප ඩිජිටල් ලෝකයේ කටයුතු කිරීමේදී මේ හැඳුනුම්පත භාවිතා කළ නොහැකිය. ඒ වෙනුවට ඩිජිටල් හැඳුනුම්පතක් තිබිය යුතුය. දැනටමත් යම්කිසි ආකාරයක ඩිජිටල් හැඳුනුම්පත් ඔබ භාවිතා කරමින් සිටී. 

උදාහරණයක් ලෙස ඔබගේ Facebook ගිණුමේ username/password සහ මුරපදය එක්තරා ආකාරයක ඔබට ආවේනික හැදුනුම්පතකි. Facebook App එකට සම්බන්ධ වීමට ඔබ එය භාවිතා කරයි. වෙන කිසිවකු එය සොරකම් කිරීම හෝ අනුමාන කිරීම වැළැක්වීමට මුරපදය තරමක් අපහසු එකක් කරන අතර තවත් සමහරු OTP(One time password) එක් වරක් භාවිතා කළ හැකි මුරපදයක් ජංගම ගිණුමට ගෙන්වා ගනී. ඒ අනුව යම් හෙයකින් කිසිවකු ඔබගේ ගිණුමට හොරෙන් ඇතුළුවීමට උත්සාහ කළද ඔබගේ ජංගම දුරකථනයට ලැඛෙන අංකය නිසා එයට ඇතුළු වීමට නොහැකිය.

නමුත් ලංකාවේ රාජ්‍ය ආයතන සමඟ Online ගණුදෙනු කිරීමේදී අපට එක් ඩිජිටල් හැඳුනුම්පතක් නැත. EPF හෝ ETF ශේෂය බැලීමට වෙනම එකකුත්, වාර්ෂික වාහන ආදායම් බලපත්‍රය ගැනීමට ආදී විවිධ username/passwords ළඟ තබාගත යුතුය. 

භෞතික හැඳුනුම්පත නොමැතිවිට අනන්‍යතාව තහවුරු කිරීමට ක්‍රමයක් නැත. එනම් ඩිජිටල් හැදුනුම්පතක අවශ්‍යතාවක් ඇත.
                                                                             

















                             

4 comments: