ලංකාවේ පුවත්පත් කලාව
ලාංකේය ලේඛන ඉතිහාසය පිළිබඳව විග්රහ කිරීමේදී එය අදියර කිහිපයක් යටතේ සාකච්ඡා කළ හැකිය. මුල් අදියර ක්‍රි.ව. 1800 – 1860 දක්වා දැක්වීමට හැකිය. ඉංග්‍රීසි පාලන කාලයේදී ප්‍රථම වාරික ප්රකාශනයක් ලෙස “ලංකාණ්ඩු ගැසට් පත්‍රය” (Ceylon Government Gazette) ආරම්භ විය. ඒ 1802 මාර්තු වලදීය. ආණ්ඩුවේ නිල නිවේදන, පරිපාලන තොරතුරු දැන ගැනීමට පළකරන ලද්දක් වුවද එහි ගද්‍යපද්‍ය කොටස් පළවී තිබිණි. ලංකාවේ පළ වූ පළමු පුවත්පත ලෙස සැලකෙන්නේ ‘ද කලම්බු ජර්නර්ල් (THE COLOMBOJOURNAL) පුවත්පතයි.1832 ඇරඹුණු මෙය එවකට සිවිල් සේවකයකු වූ ‘ජෝර්ජ් ලී’ විසින් සංස්කරණය කරන ලද්දකි.
1932 දී ප්‍රථම සිංහල සඟරාව “මාසික තෑග්ග” නමින් බිහිවිය.එමෙන්ම සමහරක් අර්ථ දක්වන්නේ “ලංකා නිධානය” පළමු සිංහල පුවත්පත බවයි.
මෙය පුවත්පතකට වඩා පොතක හැඩය ගත් බව සිංහල සාහිත්‍ය වංශයේ සඳහන් වේ. 1846 දී “සාහිත්‍ය නිධානය” නම් සඟරාව පළවිය. එහි කතුවරයා වූයේ ජෝන් පෙරේරා මහතා ය. මෙකී මුල් කාලීන පුවත්පත් සඟරාවන්හි මූලික අරමුණක් වී ඇත්තේ ක්‍රිස්තියානි ධර්ම ප්‍රචාරය කිරීමයි. එහි ප්‍රතිඵලයක් ලෙස බෞද්ධයන් ද මුද්‍රණාල ආරම්භ කිරීමේ ප්‍රවණතාවක් දක්නට ලැබේ. ආගමික වශයෙන් හෝ මේ යුගයේ ලේඛන කලාවේ එවැනි පුනරුදයක් ඇතිවීම සාධනීය ය. ඒ අතර පාඨකයන් හා ලේඛකයන් අතර පොත්පත් සඟරා පුවත්පත් කියවීමේ රුචියක් ද වර්ධනය වෙනු දක්නට ලැබේ.
මෙහි දෙවන අදියර ලෙසින් සැලකිය හැක්කේ 1860 – 1900 දක්වා කාලයයි. මේ කාලයේ ඇති විශේෂත්වයක් වනුයේ ආගමික වාද විවාද හා ශාස්ත්‍රීය වාද විවාද නිසා ලේඛන ඉතිහාසයේ නව පරිච්ඡේදයක් ආරම්භ වීමයි. ඉංග්‍රිසි පුවත්පත් බිහිවී දසක කිහිපයකට පසුව 1860 දී “ලංකාලෝකය” නමැති ප්‍රථම සිංහල පුවත්පත ආරම්භ වේ. මේ කාලය වන විට සියලු ම මුද්‍රණාලයන්හි අයිතිය ක්‍රිස්තු භක්තියකයන් අත පැවතීම නිසා බෞද්ධයන්ට සිදුවන පහර වැදීම් වළකා ගැනීමට බුලත්ගම ධම්මාලංකාර හිමියන්ගේ ප්‍රධානත්වයෙන් සියම් රජුගේ ද ආධාර ඇතිව ගාල්ලේ ‘ලංකෝපකාරය’ නමින් මුද්‍රණාලයක් ආරම්භ කළේ ය. එයින් පිට කළ පළමු පුවත්පත වූයේ ‘ලංකාලෝකයයි’. පළමු පුවත්පත ලංකාලෝකය වුවත් රජයේ ලියාපදිංචි කරන ලද පළමු පුවත්වත වනුයේ ‘ලක්මිණි පහණ’ය. එහි කතුවරයා වූයේ කොග්ගල පඬිතුමා ය. මේ පුවත්පතෙහි ආකෘතිය හා අන්තර්ගතය එකල වැදගත්කමක් දැරීය.
ඉංග්‍රීසි පුවත්පත්වල ස්වභාවය දෙස බලා සකස් කරගත් කරුණු වලින් පත්‍රය සමන්විත වන බව එහි කතුවැකියේ ම සඳහන් ය. 1866 දී ආරම්භ වුණු ‘ඥානාර්ථප්‍රදීපය’ පුවත්පත දීර්ඝ ඉතිහාසයක් ඇති පුවත්පතකි. මෙය කතෝලික සභාව විසින් ආරම්භ කරන ලද්දකි. කතෝලික දහම ප්‍රචාරය කිරීමේ ලිපි ලේඛන බහුල වශයෙන් මෙහි ඇතුළත් වූ අතර පසු කාලයේදී විවිධ වාද විවාද වලට භාජනය වූ ලිපි ලේඛන ද මෙහි පළ විය. ඒ හැර කතෝලික ජනතාවට සිංහල භාෂාව පිළිබඳ දැනුමක් සිංහල සංස්කෘතිය පිළිබඳ දැනුමත් ලබාදීමෙන් විශාල සමාජයීය කාර්යයක් සිදුකොට ඇති බව පෙනේ. ඥානාර්ථප්‍රදීපය පුවත්පතින් නඟන ලද ප්‍රශ්නවලට පිළිතුරු දීම පිණිස බෞද්ධයන් විසින් 1867 දී “සත්‍ය මාර්ගය” නමින් පුවත්පතක් ආරම්භ කෙරිණි. එහෙත් මෙය දීර්ඝ කාලයක් පවත්වා ගෙන ගොස් නැත. ලේඛන ඉතිහාසයේ දී මෙබඳු පුවත්පත් වැදගත් මෙහෙයක් ඉටු කළ බව කිවහැකි වන්නේ ජනමාධ්‍ය ශිල්පීන් ඒ ඔස්සේ විවාද මණ්ඩප විවෘත කරගත් බැවිනි.
මෙකල්හි පුවත්පත් කලාවේ වැදගත් වන තවත් ලක්ෂණයක් වනුයේ කවට පුවත්පත් ආරම්භ වීමයි. ජනමාධ්‍යයේ මුඛ්‍ය අපේක්ෂා වන විනෝදාස්වාදන මාර්ගය සොයා ගැනීමේ නව ප්‍රවණතාවක් ඒ අනුව බිහි විය. මෙය වැදගත් ඉලක්ක කණ්ඩායමයක් යැයි සැලකූ ජී.ඩී. පෑලිස් අප්පුහාමි 1871 දී “කවට කතිකයා” පුවත්පත් ආරම්භ කළේ ය. ඒ අනුව යමින් 19 වැනි සියවස තුළ දී පළ වූ තවත් පුවත්පත් කිහිපයක් නම් කවට දක්ෂයා (1889) කවට මිත්‍රයා (1891) කවට නරේන්ද්‍රයා (1891) කවටයා (1894) දැනුමැති කවටයා (1895) යනාදියයි.
මෙරට නිදහස් ව්‍යාපාරයේ පුරෝගාමී මධ්‍යස්ථානයක් වූ පරම විඥානාර්ථ සමාගමේ පාලනය යටතේ 1830 “සරසවි සඳරැස” පුවත්පත ආරම්භ විය. වේරගම පුඤ්චිබණ්ඩාර මහතා මෙහි කතුවරයා විය. මෙය ජාතිකාභිමානය ඇතිකරවන සුලු පුවත්පතක් විය. ප්‍රකට ආගමික නායකයකු වන අනගාරික ධර්මපාල තුමා ද මෙයට සම්බන්ධ වූවෙකි. එමෙන්ම එවකට පැවති ණ, න, ළ, ල ගුත්තිල වැනි වාද විවාද පවත්වාගෙන යන ලද්දේ සරසවි සඳරැස පුවත්පතයි. මේ පුවත්පත අධිරාජ්‍ය විරෝධී අදහස් පළ කිරීම නිසා කතුවරයාට විරුද්ධ ව නඩු පවරා ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස ආණ්ඩුව 1915 දී “සරසවි සඳරැස” තහනම් කොට ඇත.
ප්‍රථම වරට දිනපතා පළවන පුවත්පතක් ලෙස ආරම්භ වන්නේ “දිනපතා ප්රවෘත්ති” නම් පුවත්පතයි. මෙය ආරම්භ වනුයේ 1890 දී පමණ බව සිංහල සාහිත්‍ය වංශයේ සඳහන් වේ.
මේ අතර 19 වැනි සියවස අග භාගයේදී විවිධ විෂයයන් යටතේ පළවන පුවත්පත් සඟරා දක්නට ලැබේ. ගොවිකම් සඟරාව (1890) විද්‍යා දර්ශන සඟරාව (1893) ලංකා කම්කරු ප්රබෝධය (1893) වෛද්‍ය ශාස්ත්‍රාලංකාරය විද්‍යා දීපිකා (1895) යනාදි විෂය ක්ෂේත්රයන් සඳහා ලියැවුණු සඟරා ආදිය බිහිවීමෙන් ලේඛන ඉතිහාසයේ ප්රවණතා මැනගත හැකිය. 19 වැනි සියවසේ අවසාන කාලපරිච්ඡේදය වන විට ජාතික හැඟීම් ප්රබුද්ධකොට විදේශීය පාලකයන්ගෙන් මිදීමට දරන උත්සාහය සමහර පුවත්පත් සඟරා ආදියෙන් පෙනෙන්නට ඇත. මේ සඳහා ජනමාධ්‍ය යොදාගත් ආකාරයක් ද පෙනේ.
තෙවන අදියර ලෙසින් සැලකෙන 1900 – 1948 කාලවකවානු තුළ ලංකාවට නිදහස ලබාගැනම ආදී වූ වැදගත් ම සන්ධිස්ථානයන් රැසක් පසුකරන බව පෙනේ. ප්‍රධාන පෙළේ පුවත්පත් ආයතන ආරම්භ වීමත් දේශපාලන කටයුතු වලට උද්යෝගයෙන් නැඹුරු වීමත් වාමාංශික ව්‍යාපාරය වර්ධනය වීමත් ඒවා පුවත්පත් සඟරා ඔස්සේ ව්‍යාප්ත වීමත් දක්නට ලැබෙන විශේෂත්වයකි.
1906 දී ඇරඹුණු “සිංහල බෞද්ධයා” පුවත්පත මහාබෝධි සමාගම විසින් අනගාරික ධර්මපාල තුමා යටතේ ආරම්භ කෙරිණි. ජාතික නිදහස උදෙසා ජනතාව අවදි කිරීමට දරන උත්සාහය මේ පුවත්පතින් දක්නට ලැබිණි. මේ නිසාම ඉංග්‍රීසි ආණ්ඩුව විසින් සිංහල බෞද්ධයා පුවත්පත 1915 දී තහනම් කරන ලදී. 1910 දී ඇරඹුණු “සිංහල ජාතිය” පුවත්පතින් ද එබඳු ම සේවාවක් වී තිබේ. පියදාස සිරිසේන මහතා ආරම්භ කළ මේ පුවත්පත 1902 දී ආරම්භ කළ “සිංහල ජාතිය” සඟරාව පුවත්පතට හැරවීමකි
1909 වර්ෂය වන විට තවත් වැදගත් සංධිස්ථානයක් ලාංකේය පුවත්පත් කලාවේ සිදු වේ. ඒ දිනපතා පුවත්පතක් වශයෙන් “දිනමිණ” ආරම්භ වීමයි. එච්.එස්. පෙරේරා මහතා විසින් ආරම්භ කරන ලද මේ පුවත්පත ආර්ථික අපහසුතා හේතුවෙන් නවත්වන තැනට කටයුතු යෙදී තිබිණි. අනතුරුව 1914 දී ඩී. ආර්. විජයවර්ධන මහතා විසින් මිලදී ගනු ලැබුව දිනමිණ පුවත්පත ප්‍රතිසංස්කරණවලට භාජනය විය. කෙසේ වෙතත් සීමාසහිත ලංකාවේ එක්සත් ප්රවෘත්ති පත්‍ර සමාගම ආරම්භ වනුයේ ද ඉන් අනතුරුව ය. ඒ වන විට පැවති ටයිම්ස් ආයතනය සමඟ තරග කිරීමේ ශක්තිය තිබුණේ ලේක්හවුස් ආයතනයට ය. ටයිම්ස් ආයතනයට වඩා ලේක්හවුස් ආයතනය දේශීයත්වයට නැඹුරු බවක් දැක්වීය.
1880 දී ආරම්භ වූ “සරසවි සඳරැස” හා 1901 දී ආරම්භ වුණු “සිංහල සමය” යන පුවත්පත් දෙක එකතුකොට 1916 දී සරසවි සඳරැස හා සිංහල සමය යනුවෙන් පළකරන ලදී. මේ කාලයේ පුවත්පත් සඟරා ආදිය පවත්වාගෙන යෑමේ දුෂ්කරතා ඇතිවී ඇති අතර පුවත්පත් ආචාරධර්මවලට පටහැනි ලක්ෂණ පෙන්නුම් කරන පුවත්පත් කිහිපයක් ද බිහිවී ඇති බව පෙනේ. “ලටපට” “ඒක මේක” “අංජනම් එළිය” “මරු සන්නිය” “සුදු කොඩිය” ඉන් කිහිපයකි.
1924 දී ආරම්භ කරන ලද “ස්වදේශීය මිත්‍රයා” පුවත්පත ඉතාමත් ආදර්ශවත් පුවත්පතකි. මෙහි කතුවරයා වූයේ ඩී.ඩබ්ලිව්. වික්‍රමාරච්චි මහතා ය. මේ පුවත්පත දීර්ඝ කාලයක් තිස්සේ නොපැවතුණත් පැවති කාලය තුළ දී ඉතාමත් වැදගත් මෙහෙයක් ඉටුකළ පුවත්පතකි. මේ අතරේදී 1930 වර්ෂයේ “සිළුමිණ” නමින් ඉරිදා පත්‍රයක් බිහිවුණ අතර එය හැඳින්වූයේ “ශත දහයේ විශ්ව විද්‍යාලය” නමිනි. පියසේන නිශ්ශංක මහතාගේ ආරම්භක කර්තෘත්වයෙන් යුත් මේ පුවත්පත බිහිවූයේ ලේක්හවුස් ආයතනය හරහා ය.
1930 දී ගණන් වන විට පුවත්පත් කලාවේ නව පිබිදීමක් ඇතිවිය. ඒ වාමාංශික ව්‍යාපාරය ආරම්භ වීමත් සමඟම පුවත්පත් කිහිපයක් ම බිහිවීමෙනි. මේ ප්‍රවණතාව යටතේ බිහි වූ පළමු පුවත්පත වන්නේ 1934 දී බිහිවුණු “කම්කරුවා” පුවත්පතයි. ගොවි කම්කරු ජනතාව වෙනුවෙන් මේ පුවත්පත පෙනී සිටියේ ය. ලංකා සමසමාජ පක්ෂය ආරම්භ වීමෙන් පසු සිංහල දෙමළ ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයෙන් “සමසමාජය” පුවත්පත් බිහිවිය. අධිරාජ්‍ය විරෝධී මත ප්‍රබල ලෙස පළ කරන ලද පුවත්පතක් වශයෙන් “සමසමාජය” එකල ප්‍රකට විය. 1940 ගණන් වල වාමාංශික ව්‍යාපාරයේ ඇති වුණු බේද භින්නතා නිසා පුවත්පත් කිහිපයක් ම බිහි වී තිබේ. ‘නවශක්ති’, ‘මව්බිම’, ‘නවලෝකය’, ‘ගිනි පුපුර’ ඉන් කිහිපයකි. මේ පුවත්පත් තුළින් කැපී පෙනුණු ලක්ෂණයක් වූයේ අධිරාජ්‍ය විරෝධී අදහස් මෙන්ම ජාතික නිදහස අරමුණු කරගත් අදහස් ද බහුල ව භාවිතා වීමයි. මේ නිසා මේ පුවත්පත්වල කතුවරුන්ට වරින්වර සිර දඬුවම් විඳින්නට සිදු විය.
සිව්වන අදියර ලෙසින් 1948 – 1970 දක්වා කාලය ගත හැකිය. 1948 නිදහස ලබා ගැනීමෙන් පසුව පුවත්පත් සඟරා දේශීය සංස්කෘතිය ගැන හා සාමාජීය ප්‍රශ්න පිළිබඳ අවබෝධයක් ලබාගෙන තිබේ. විවිධ පාඨක කණ්ඩායම් වෙත මෙන්ම දේශපාලනික කරුණු කෙරෙහි ද නැඹුරුවක් යොමුකොට තිබේ. 1947 දී ආරම්භ වුණු “ලංකාදීප” පුවත්පත ලේක්හවුස් ආයතනයේ “දිනමිණ” පුවත්පතට වඩා දේශීය සම්ප්රදාය කෙරෙහි වැඩි අවධානයක් යොමුෙකාට තිබේ. සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු යන පංචමහා බලවේග යටතේ ජනතාව ගොනු කරමින් නව චින්තනයක් ඔස්සේ ඔවුන් මෙහෙයවීමට දැරූ උත්සාහය එම පුවත්පතින් මුල්කාලයේදී දැකගත හැකිය.
මෙරට ප්‍රථම දිනපතා පුවත්පතක් ලෙස දේශපාලන අරමුණු පෙරදැරි කරගනිමින් බිහි වූයේ “කොමියුනිස්ට්” පුවත්පතයි. ඒ 1949 දී බිහිවුණු “සිංහලේ” පුවත්පතද 1956 දී ජනතා සටන් වලදී විශේෂ කාර්ය භාරයක් ඉටුකර තිබේ. ලංකාදීප පුවත්පතද මේ සඳහා සහයෝගයක් දැක්වීය. එකල සිටි ඉංග්‍රීසි උගතුන්ගේ ඒකාධිකාරය බිඳ දැමිය හැකි බලවේගයක් බිහි කිරීම මේ පුවත්පත්වල අරමුණ වූ බව පෙනේ.
1953 දී සවස පුවත්පතක් ලෙසින් ටැබ්ලොයිඩ් ප්‍රමාණයේ “ජනතා” පුවත්පත ලේක්හවුස් ආයතනයෙන් බිහි විය. 1961 දී ඇම්. ඩී. ගුණසේන සමාගමේ ප්‍රධානත්වයෙන් “දවස” පුවත්පත් ආයතනය බිහි විය. දවස පුවත්පතේ කතුවරයා වූයේ “ලංකාදීප” පුවත්පතින් ඉවත් වූ ඩී. බී. ධනපාල මහතා ය. එකල ‘දවස’ ඉතාමත් ජනප්‍රිය පුවත්පතක් බවට පත් විය. ටික දිනකින් එහි ඉරිදා පුවත්පත වූ ‘රිවිරැස’ ආරම්භ විය. 60 දශකය වන විට ලංකාවේ ප්‍රධාන පෙළේ පුවත්පත් ආයතන තුනක් විය. එනම් ටයිම්ස් ආයතනය, ලේක්හවුස් ආයතනය හා දවස (ස්වාධීන ප්රවෘත්ති පත්‍ර ආයතනය) යන ආයතනයයි. 1964 දී සිදුවූ විශේෂ සිද්ධියක් වන්නේ එකල පැවති රජය විසින් පුවත්පත් කොමිසමක් පත් කිරීමෙන් පසුව ලේක්හවුස් ආයතනය රජයට පවරා ගැනීමට උත්සාහ දැරීමයි.
මෙහිදී පුවත්පත් ආයතන තුනම එයට විරුද්ධව ප්‍රබල ජනමතයක් ඇති කිරීමට කටයුතු කරනු ලැබීය. 1964 දී “ඇත්ත” පුවත්පත බිහි විය. ඉන්පසු දේශපාලන පුවත්පත් වන “ජනදින” “සිරිලක” ආදිය බිහිවිය. ඇත්ත පුවත්පතේ කතුවරයා වූ බී.ඒ. සිරිවර්ධන මහතාගේ කතුවැකි විශේෂයෙන් ප්‍රසාදයට ලක් වූ අතර අදත් ජන මතකයේ රැඳී ඇත.
පස්වන අදියර ලෙසින් 1970 න් පසු අද දක්වා කාලය සැලකිය හැකිය. නවීන තාක්ෂණික උපක්‍රම භාවිතා කිරීම මෙන්ම පුවත්පත් සංඛ්‍යවෙන් විශාල ප්‍රමාණයක් බිහි වීමද මේ කාලයේ විශේෂත්වයකි. රාජ්‍ය අංශයේ බලපෑම ජනමාධ්‍ය කෙරෙහි එල්ල වීම තදබල ලෙස ආරම්භ වූ කාලයක් ලෙස 70 දශකයෙන් පසුකාලය හැඳින්විය හැකිය. විවෘත ආර්ථිකය ලේඛන කලාවට බලපෑම් කරනා ප්‍රබල අන්දම ද මේ වකවානුවේ අපට දැකගත හැකිය. චිත්‍ර කතා පුවත්පත් මෙන්ම ලිංගික ප්‍රකාශන ද මේ වකවානුවේ බහුල වශයෙන් බිහි වේ.
ඊට අමතරව විවිධ විෂයන් යටතේ බිහිවන පුවත්පත් සඟරා විශාල ප්‍රමාණයක් ද මේ කාල වකවානුවේ දැකගත හැකිය. නිදසුනක් ලෙසින් සිනමා, සෞඛ්‍ය, අධ්‍යාපන, ජ්‍යෙතිෂය, කාන්තා ළමා, යොවුන්, ශාස්ත්‍රිය, ආගමික, දේශපාලන, චිත්‍ර කතා, ලිංගික යනාදී විවිධ ක්ෂේත්‍ර යටතේ පුවත්පත් බිහි වුවද මේවා දීර්ඝ කාලයක් පවත්වා ගැනීමේ හැකියාවක් ලැබෙන්නේ නැත. මන්ද එහි ඉලක්ක කණ්ඩායම්හි පවතින විචල්‍යතා නිසා ය.
1973 වර්ෂය පුවත්පත් නිදහස සම්බන්ධයෙන් තීරණාත්මක වර්ෂයකි. ලේක්හවුස් ආයතනය රජයට පවරා ගැනීමත් සමඟ ම පුවත්පත් සම්බන්ධයෙන් තීරණාත්මක වෙනස්කම් රාශියක් සිදුවිය. ඉන්පසු ලේක්හවුස් ආයතනය මඟින් පළ කළ පුවත්පත්වල සඳහන් වූයේ රජයට පක්ෂපාතී අදහස් ය. 1977 න් පසු වෙනත් පිරිසක් බලයට පත් වුවද එහි වෙනසක් සිදුවූයේ නැත. 1974 දී ‘දවස’ ආයතනයට සීල් තැබීම ද මෙකල සිදුවූ වැදගත් සිද්ධියකි. 1975 දී පමණ ටයිම්ස් ආයතනයේ ද විවිධ කලබල දක්නට ලැබුණි. මේ ආයතන සියල්ලෙහි ම විවිධ කලබල ඇතිවී ඇත්තේ දේශපාලන සිදුවීම් අරමුණු පෙරදැරි කරගනිමිනි. ලංකාවේ පුවත්පත් ආයතනවල මුහුණුවර වෙනස් ස්වභාවයක් ගන්නා අවදියක් ලෙස 70 න් පසු දශක කිහිපය හඳුන්වා දිය හැකිය.
1977 වසරේදී දවස ආයතනය නිදහස් වූ අතර නව රජයක් පත්වූ පසු ලේක්හවුස් ආයතනයේ ද වෙනස්කම් රාශියක් සිදුවිය. 1977 වසරේදී නව රජය යටතේ ටයිම්ස් ආයතනය රජයට පවරා ගනියි. 1985 දී ටයිම්ස් ආයතනය වසා දමනු ලැබීය.
ලේඛන ඉතිහාසයේ තවත් වැදගත් සිදුවීමක් සනිටුහන් වන්නේ 1981 දීය. එනම් උපාලි පුවත්පත් සමාගම ආරම්භ වීමයි. පළමුවෙන් 1981 දී “ඉරිදා දිවයින සංග්‍රහය” සහ “සන්ඩේ අයිලන්ඩ්” පුවත්පත් පළකරනු ලැබීය. 1982 සිට දිනපතා “දිවයින” සහ “දි අයිලන්ඩ්” පුවත්පත් ඇතුළු වාර ප්‍රකාශන කිහිපයක්ම මේ ආයතනය විසින් ආරම්භ කොට ඇත.
මේ වන විට මුද්‍රණ ඉතිහාසයේද සුවිශේෂී වෙනස්කම් සිදුවෙමින් පැවතිණි. එහි විශේෂත්වයක් වන්නේ ඕෆ්සෙට් ක්‍රමය (OFFSET) යටතේ පුවත්පත් මුද්‍රණය ආරම්භ වීමයි. ලේක්හවුස් ආයතනය ප්‍රථමවරට ඕෆ්සෙට් ක්‍රමය යොදා ගැනීමට සූදානම් වුවත් ප්‍රථම වරට පුවත්පතක් මුද්‍රණය කරන ලද්දේ ටයිම්ස් ආයතනයයි. 1981 දී ශ්‍රී ලංකාදීප හා සන්ඩේ ටයිම්ස් යන පුවත්පත් දෙක ඕෆ්සෙට් ක්‍රමය යටතේ මුද්‍රණය විය. 1985 දී ටයිම්ස් ආයතනය වසා දැමුවත් 1986 දී රන්ජිත් විජයවර්ධන මහතා විසින් ඒ ආයතනය මිලදී ගැනීමෙන් පසුව පුවත්පත් මුද්‍රණය ආරම්භ කළේ ය. දිනපතා “ලංකාදීප” නැවත ආරම්භ වූයේ 1991 දීය. විජය ප්‍රකාශන සමාගම නමින් අද හඳුන්වන මේ ආයතනයෙන් මේ වන විට වාර ප්‍රකාශන රාශියක් ම මුද්‍රණය වේ.
1990 දී දවස ආයතනය වැසී ගියේය. 80 – 90 දශක තුළදී විකල්ප පුවත්පත් සඟරා බිහිවීමත් සැලකිය යුතු සිද්ධියකි. ප්‍රධාන පුවත්පත් දහරාවේ මහජනයාට හිතකර ප්‍රවෘත්තිවලට වඩා දේශපාලනයට හිතකර ප්රවෘත්ති ඉදිරිපත් වන බැවින් නියම ජනමතයක් ඉදිරිපත් නොවීය. මේ නිසා ඉතා ශීඝ්‍රයෙන් විකල්ප පුවත්පත් කලාවක් ආරම්භ විය. විකල්ප පුවත්පත් ඉතා ඉක්මනින් ම ජනප්‍රිය විය. දැනටත් ජනප්‍රිය ව පවතින රාවය මේ සඳහා නිදසුන් ය. රජයේ ආයතන මඟින් ද සඟරා කිහිපයක් නිකුත් වේ. 1970 සිට අද වන තුරු කාලය තුළදී ලේඛන කලාවේ විශාල ප්‍රගතියක් ලබා ඇති බව රහසක් නොවේ. තාක්ෂණික විධික්රමයන් හි වර්ධනයත් සමඟ සිත් ඇදගන්නා සුලු පුවත්පත් සඟරා බිහිවීමත් කලාත්මක නිමාවකින් යුක්ත වූ ආකෘති භාවිතා කිරීමත් සැලකිය යුතු කරුණකි. දියුණු රටවල යොදාගනු ලබන මුද්‍රණ ක්‍රම භාවිතය සහ අධි වේගයෙන් යුක්තව මුද්‍රණ කටයුතු කිරීමත් දක්නට ලැබේ. එසේ වුවත් ගුණාත්මක ලක්ෂණ දෙස බැලීමේදී සතුටුදායක තත්ත්වයක ඇති බව නම් නොපෙනේ. ප්‍රමාණයෙන් අධික වුවද ගුණයෙන් හිනවී තිබීම පැහැදිලිව පෙනෙන සත්‍යයකි. වාණිජ පරමාර්ථ උදෙසා පුවත්පත් බිහි වීම මෙයට හේතුවයි. අද වන විට මේ තත්ත්වය ඉතාමත් අභාග්‍යසම්පන්න ලෙසින් වර්ධනය වී තිබේ.
♥️♥️♥️♥️♥️♥️♥️
ReplyDelete👍👍👍👍👍👍
ReplyDeleteNice 🌼🌼♥️
ReplyDelete👍🥰
ReplyDelete💓💓💓
ReplyDelete💓💓💓💓
ReplyDelete👍🌼👍
ReplyDelete